February 12, 2026
DFCC බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරයේ ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට සූදානම් වෙයි
පුවත්

DFCC බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරයේ ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට සූදානම් වෙයි

Nov 13, 2025

DFCC බැංකුව (DFCC Bank PLC), එක්සත් රාජධානියේ ස්ටෑන්ඩට් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලාංකීය බැංකු ශාඛාව (SCB Sri Lanka), ඔස්සේ සිදුකරනු ලැබූ සේවා රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹ ඇති බව සතුටින් නිවේදනය කර සිටී. මෙමගින් SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කර ගැනීමට නියමිතය.

මෙම යෝජිත අත්පත් කර ගැනීමට SCB ශ්‍රී ලංකා හි ධන සම්පත් කළමනාකරණ හා පුද්ගල/ පාරිභෝගික බැංකු කටයුතු (Wealth and Retail Banking) සම්පූර්ණයෙන්ම ඇතුළත් වන අතර, එයට ප්‍රමුඛතා බැංකුකරණය, ණය කාඩ්පත්, පුද්ගල/ පාරිභෝගික ණය ලබා දීම, තැන්පතු සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළත් වේ. මෙම ගනුදෙනුව තුළින් SCB ශ්‍රී ලංකා හි ධන කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාර කටයුතුවල නියුක්ත සියලුම සේවකයින්ට සම කල හැකි තනතුරු සහ අවස්ථා ලබා දී DFCC බැංකුව තුළ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට හැකියාව සලසා දෙනු ඇත. DFCC බැංකුව සහ SCB බැංකුව එක්ව, මෙම ක්‍රියාවලිය තුළ දී ගනුදෙනුකරුවන් සහ සේවකයින්ගේ බාධාවකින් තොර මාරුවීම සහ සේවාවන්වල හා සබඳතාවන්ගේ අඛණ්ඩතාවය සහතික කරනු ඇත.

මෙම අත්පත් කර ගැනීම DFCC බැංකුවේ ධන සම්පත් කළමනාකරණ සහ පුද්ගල/ පාරිභෝගික බැංකුකරණ අංශ ශක්තිමත් කිරීම, එහි ගනුදෙනුකාර පදනම පුළුල් කිරීම සහ ප්‍රධාන වර්ධන අංශවල වර්ධනය යන දීර්ඝකාලීන උපායමාර්ගික ඉලක්කයන්ගේ කොටසකි. මෙම ගනුදෙනුව සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම බැංකුවේ අභ්‍යන්තරව උත්පාදනය කරන ලද ප්‍රාග්ධනය  මගින් සපයනු ලබන අතර, එය DFCC බැංකුවේ ශක්තිමත් මූල්‍ය පදනම සහ ව්‍යාප්ත වීම උදෙසා බැංකුව අනුගමනය කරනු ලබන විනයානුකූල ප්‍රවේශය මනාව පිළිබිඹු කරන්නකි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සම්බන්ධයෙන් DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ අදහස් පළ කළේය: “ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු සහ ධන සම්පත් කළමනාකරණ මෙහෙයුම්වල ගනුදෙනුකාරභවතුන් සහ සේවක සගයන් DFCC බැංකු පවුල වෙත සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. DFCC බැංකුව වන අපගේ 70 වන සංවත්සරය සමරන මෙම මොහොතේ, මෙම සුවිශේෂී සන්ධිස්ථානය ශ්‍රී ලංකාවේ අනාගත විභවය පිළිබඳ අපගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරනවා. එමෙන්ම, මෙරට ආර්ථිකයට සහ සියල්ලටත් වඩා, සියලු ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දැක්වීම සඳහා අප තුළ ඇති දීර්ඝකාලීන කැපවීමද එයින් යළි යළිත් තහවුරු කෙරෙනවා. මෙම අත්පත් කර ගැනීම හුදෙක් පරිමාණයන් පිළිබඳ කාරණයක් පමණක් නොවේ. එය අපගේ මූලික අරමුණ තවදුරටත් පුළුල් කිරීමක්. එනම්, අර්ථවත් වර්ධනයක් සක්‍රීය කිරීම, අපගේ ගනුදෙනුකාරභවතුන් හට සැබෑ වටිනාකමක් ලබා දීම, සහ අප සේවය කරන සහ සම්බන්ධිත සෑම පාර්ශ්වකරුවෙකුගේම, එනම් පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල සිට මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දක්වා වූ විශ්වාසය සුරැකීමයි.”

SCB ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා ප්‍රකාශ කළේ, “අපගේ ධන සම්පත් කළමනාකරණ හා පුද්ගල/ පාරිභෝගික බැංකු කටයුතු ව්‍යාපාරය අලෙවි කිරීම, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ගෝලීය ක්‍රමෝපායට අනුකූලව ගත් තීරණයකි, එනම් අපට වඩාත්ම සුවිශේෂී ගනුදෙනුකාර සේවා සැපයිය හැකි ක්ෂේත්‍ර වෙත අපගේ සම්පත් සංකේන්ද්‍රණය කිරීමයි. අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරමින් සහ අපගේ සේවකයින්ට ප්‍රමුඛත්වය දීමෙන්, සුමට සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් සහතික කිරීමට අප කැප වෙනවා. ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවට ශ්‍රී ලංකාව සමග දීර්ඝ ඉතිහාසයක් සහ සබඳතාවක් පවතිනවා. මෙරට තුළ අපගේ ආයතනික සහ ආයෝජන බැංකුකරණ ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා අප තවදුරටත් පූර්ණ වශයෙන් කැපවී සිටිනවා. අපගේ ආයතනික සහ ආයෝජන බැංකු ගනුදෙනුකරුවන්ට, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවෙන් ඔවුන් අපේක්ෂා කරන උසස් තත්ත්වයේ සේවාව, විශ්වාසනීය හවුල්කාරිත්වය සහ නව්‍ය විසඳුම් අඛණ්ඩව ලැබෙනු ඇතැයි.” යනුවෙනි.

මෙම සන්ධිස්ථානයත් සමග, DFCC බැංකුව ලාංකේය ගනුදෙනුකරුවන්ගේ විකාශනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා වන සිය දශක හතක කැපවීම මනාවට පිළිබිඹු කරයි. DFCC බැංකුව මෙරට ප්‍රථම සංවර්ධන මූල්‍ය ආයතනය ලෙස ආරම්භ වූ දා සිට, වර්තමානයේ පූර්ණ-පරිමාණ වාණිජ බැංකුවක් ලෙස පවතින තත්ත්වය දක්වා, ජාතියේ ආර්ථිකය ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් පෙරමුණ ගෙන කටයුතු කර ඇත. තිරසාර වටිනාකමක් ගොඩනැගීමේ සහ ප්‍රගතිය ඉදිරියට ගෙන යාමේ අරමුණින් මඟ පෙන්වනු ලබන DFCC බැංකුව, මෙරට වර්ධනයේ විශ්වාසදායක හවුල්කරුවෙකු සහ ‘සේවය කිරීමට වඩාත්ම උචිත සහ ප්‍රිය කරන ආයතනයක්’ ලෙස සිය ස්ථාවරය පවත්වා ගනිමින්, මෙරට වඩාත්ම ගනුදෙනුකාර-කේන්ද්‍රීය බැංකුව සහ ගනුදෙනු කිරීමට වඩාත් පහසුම බැංකුව බවට පත්වීමේ පරිවර්තනීය ගමනක යෙදී සිටී.

මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත් වේ. ගනුදෙනුව 2026 වසරේ මුල් භාගය වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close