October 26, 2025
කොමර්ෂල් බැංකුවේ තිරසාර සංවර්ධන කාර්යභාරය පිළිබඳ නිව්යෝර්ක් හි UNGC වාර්ෂික සැසිවාරයේ දී අදහස් ඉදිරිපත් කරයි
පුවත්

කොමර්ෂල් බැංකුවේ තිරසාර සංවර්ධන කාර්යභාරය පිළිබඳ නිව්යෝර්ක් හි UNGC වාර්ෂික සැසිවාරයේ දී අදහස් ඉදිරිපත් කරයි

Oct 11, 2025

කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ (UNGC) වාර්ෂික සැසිවාරයේ දී අදහස් දැක්වීය. ලොව පුරා රටවල් 69 කින් නියෝජිතයින් 500කට අධික පිරිසක් මෙම සංසඳයට සහභාගි වූ අතර මෙහි දී කොමර්ෂල් බැංකුව තිරසාරභාවය උදෙසා සිදුකරන කර්තව්‍යය පිළිබඳ ගෝලීය අවධානය ලක්විය.

බැංකුවේ ආයතනික හා සමාජයීය වගකීම් භාර අරමුදලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන මුණසිංහ මහතා, බැංකුවේ තිරසාරභාවය පිළිබඳ විධායක කමිටුවේ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාවේ UNGC ජාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ද සාමාජිකත්වය දරයි. මෙහි දී පැවැත්වුණු ආසියාව සහ සාගර කලාපයේ නායකත්ව වට මේස සමුළුවේ දී රටවල් 14 ක නියෝජිතයින් අදහස් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුණසිංහ මහතා ශ්‍රී ලංකාව තුළ තිරසාරභාවයේ දැක්ම පිළිබඳ අදහස් ප්‍රකාශ කළේය.

සිය අදහස් දැක්වීමේ දී මුණසිංහ මහතා පෙන්වා දුන්නේ ආසියා පැසිෆික් කලාපය, ගෝලීය තිරසරභාවය ඉදිරියට ගෙන යාමේහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ජෛව විවිධත්ව සක්‍රීයත්වය අධික කලාපයක් බවයි. මානව ප්‍රාග්ධනය ඇතුළු කලාපයේ වටිනා සම්පත් මගින් සමාජයීය ව්‍යාවසායකත්වය, තිරසාරභාවය ආශ්‍රිත බැඳීම්, දේශගුණික සංක්‍රාන්තිය, ජෛව විවිධත්වය, ක්‍රෘතිම බුද්ධිය පදනම් කරගත් තාක්ෂණ ව්‍යාපෘති, සහ විවිධත්වය හා ස්ත්‍රී පුරුෂභාවය කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති වැනි ආයෝජන සඳහා බොහෝ අවස්ථා නිර්මාණය කරන බවයි. මෙම දැක්ම තවදුරටත් හුවා දක්වමින් ඔහු පැවසුවේ කොමර්ෂල් බැංකුව තිරසාරභාවය තම මූලික මෙහෙයුම්වලට ඒකාබද්ධ කර ඇති අතර පාරිසරික හා සමාජයීය ප්‍රමුඛතා සමඟින් ආයතනික වර්ධනය එකට පෙළගස්වන, වගකීම් සහගත බැංකු පිළිවෙත් සහ පුරෝගාමී මුලපිරීම් දියත් කිරීම හරහා බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමියා බවට පත්ව ඇති බවයි. බලශක්ති සංක්‍රාන්තිය උදෙසා වන දේශගුණික මූල්‍යකරණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් වූ ස්මාර්ට් මූල්‍යකරණය වැනි විශේෂ මූල්‍යකරණ අවස්ථා පිළිබඳව ද ඔහු එහිදී කතා කලේය.

මෙම සැසිවාර වලින් පසුව, ශ්‍රී ලංකාවේ UNGC ජාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ මධ්‍යස්ථානයේ පැවති ආසියාව සහ සාගර කලාපයේ නායකත්ව වට මේස සමුළුවේදී මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ හඬ ඉදිරියට ගෙන එනු දැකීම සතුටට කරුණක් බවයි. “මෙම විශිෂ්ට සංවාදය මගින් තිරසාරභාවයේ නායකත්වයෙහි අනාගතය නැවත අර්ථ දැක්වීම සඳහා කලාපය පුරා සිටින පුරෝගාමී ප්‍රධාන විධායක නිලධාරීන් සහ ප්‍රධාන තිරසාරත්ව නිලධාරීන් හට නව මංපෙත් එළි පෙහෙලි කර දුනි. එය, තිරසාරභාවය තවදුරටත් හුදෙක් හරි වරදි ලකුණු කිරීමේ අභ්‍යාසයක් නොව, උපාය මාර්ගයේ හා වර්ධනයේ මූලික ධාවකයක් බවට පත් කරවන තරම් ප්‍රබල වූ, අනුකූලතාවය පමණක් අරමුණු කිරීමෙන් මිදී සම-නිර්මාණ ඇති කිරීමට දිරිමත් කෙරුනු, අවංක, සිතුවිලි නැවුම් කරන, සහ ක්‍රියාකාරී කරවන සුළු සංවාදයක් විය,” යැයි UNGC පැවසීය. “නවෝත්පාදන සහ සහයෝගීතාවයන් තුළින් විවිධ වෙළඳපලවල් තුළ විසඳුම් නිර්මාණය කර ඇති අවධියක, එක් කරුණක් දැඩි ලෙස ඉස්මතු විය. එනම් ආසියාව සහ සාගර කලාපය විසින් මේ වන විට ගෝලීය තිරසාර ප්‍රවණතාවලට ප්‍රතිචාර දැක්වීමෙන් නොනැවතී, ඒවා හැඩගැස්වීම ද සිදු කරන බවයි.”

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ SDG Moment සංසදයට ද මුණසිංහ මහතා සහභාගී වූ අතර, එහිදී බෙල්ජියමේ මැතිල්ඩා රැජින, අයර්ලන්ත අගමැති මයිකල් මාටින් හා ලෝක නායකයින් කිහිප දෙනෙකු දේශන පැවැත්වීය.

සතියක් පුරාවටම පැවති මෙම එක්සත් ජාතීන්ගේ සැසිවාරවලදී මුණසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනවල ඉහළ පෙලේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වු අතර UNGC හි සහකාර මහලේකම් සහ ප්‍රධාන විධායක නිළධාරී සැන්ඩා ඔජියම්බෝ මෙනෙවිය හා වගකිවයුතු ආයෝජන සඳහා වූ එක්සත් ජාතීන්ගේ මූලධර්ම (PRI) ආයතනයෙහි හි ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් ඇට්කින් මහතා ද ඒ අතර විය.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close