August 14, 2025
ප්‍රථම වරට Christell Acne Lab වෙතින් One Galle Faceහි දී කුරුලෑ පාලනයේ නව ක්‍රමවේද පිළිබඳ විශේෂ වැඩසටහනක්
පුවත්

ප්‍රථම වරට Christell Acne Lab වෙතින් One Galle Faceහි දී කුරුලෑ පාලනයේ නව ක්‍රමවේද පිළිබඳ විශේෂ වැඩසටහනක්

Aug 14, 2025

Christell Luxury Wellness විසින් පසුගියදා One Galle Face සාප්පු සංකීර්ණයේදී ‘Acne Lab Pop-Up Experience’ නමින් සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. එහිදී විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ කුරුලෑ ඇතිවීම වළක්වන ආකාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුහුණු ස්කෑන් කිරීමේ තාක්ෂණය භාවිතා කරමින් සමේ තත්වයන් විශ්ලේෂණය කරන ආකාරය පෙන්වා දෙන ලද අතර, වැඩසටහන සහභාගී වූවන්ට සම රැකගන්නා ආකාරය පිළිබඳ පුළුල් මගපෙන්වීමක්ද ලබාදෙන ලදී. ඊට අමතරව ඔවුන්ට විශේෂඥයන් වෙතින් උපදෙස් ලබාගැනීමටත්, තමන්ට සුදුසු නිෂ්පාදන මොනවාද යන්න හඳුනා ගැනීමටත්, කුරුලෑ පිළිබඳව පවතින වැරදි මත නිවැරදි කරන දැනුවත් කිරීමේ සැසිවලට සහභාගී වීමටත් අවස්ථාව හිමි විය.

සිකුරාදා සිට ඉරිදා දක්වා පැවැත්වුණු මෙම වැඩසටහනට විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී ඔවුන්ට Christell Luxury Wellness හි වෛද්‍යවරුන්, චර්ම සත්කාර විශේෂඥයන් සහ පෝෂණවේදීන් වෙතින් උපදෙස් ලබාගැනීමටත්, විවිධ විනෝද ක්‍රීඩාවල නිරත වීමටත් අවස්ථාව උදා විය. උත්සවයේදී කාගේත් අවධානය දිනාගත්  සුවිශේෂී අංගයක් වූයේ කුරුලෑ වැළැක්වීම සම්බන්ධයෙන් පැවැත්වුණු සංවාදමය වැඩසටහනයි.

සංවාදය ආරම්භ වූයේ Christell හි වෛද්‍ය රායිඩා වහාබ් ඩැනියෙල් (Nutrition Consultant) ඉදිරිපත් කළ වැදගත් අදහසක් සමගිනි. එහිදී ඇය ආහාර රටාව සහ කුරුලෑ අතර පවතින සම්බන්ධය පෙන්වා දුන්නාය. ඇය පැවසුවේ ජීර්ණ පද්ධතියේ නිරෝගී බව සමට මෙන්ම මුළුමහත් ශරීරයටම බෙහෙවින් වැදගත් වන බවයි. එබැවින් සැකසුම් ක්‍රියාවලියකට ලක් නොකළ, දේශීය අමුද්‍රව්‍ය යොදා සකස් කරන ලද ආහාරපාන තම ආහාරවේලට එක්කර ගත හැකි නම් එය සමේ නිරෝගී බවටද අතිශයින් වැදගත් වනු ඇති බව ඇය අවධාරණය කළාය.

“Mediterranean diet ගැන අපට නිතර අසන්නට ලැබෙනවා.  එහෙත් අපගේ දේශීය ආහාර වන රතු කැකුළු සහල්, ගොටුකොළ, පරිප්පු සහ මාළු ඇඹුල් තියල් වැනි ආහාරපානත් සමබල ආහාර වේලක් සඳහා ඒ තරමටම වැදගත්.” වෛද්‍ය රායිඩා වහාබ් ඩැනියෙල් පැවසුවාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ විටමින් C බහුල දේශීය ආහාර වන පේර සහ කොළ පැහැති එළවළු සමග කොලජන් අතිරේකද ලබාගැනීම මගින් ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි කරගත හැකි බවයි.

එමෙන්ම Christell සමාගමේ වෛද්‍යවරියක වන වෛද්‍ය හිරුණි පූර්ණිමා ‘Detoxing’ නම් ප්‍රකට ක්‍රමවේදය සහ එහි විද්‍යාත්මක පදනම පැහැදිලි කළාය. හොඳින් ජලය පානය කිරීම, නිසි නින්දක් සහ ඇල්කොහොල් භාවිතය අවම කිරීම ආදිය මගින් මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස පවත්වා ගත හැකි බව ඇය පෙන්වා දුන්නාය.

“වර්තමාන ජීවන රටාවන් නිසා අපගේ ශරීරවලට අන් කවරදාටත් වඩා විශාල ආතතියකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. දිනපතා ජලය ලීටර් දෙකත් තුනත් අතර ප්‍රමාණයක් පානය කිරීම, නිතිපතා හොඳ නින්දක් ලැබීම සහ නින්දට විනාඩි 60 ත් 90 ත් අතර කාලයකට පෙර ඩිජිටල් තිර භාවිතයෙන් වැළකීම යනාදිය නිරෝගී ජීවිතයකට ඉතාමත් වැදගත්. එමෙන්ම ත්‍රිපලා සහ අශ්වගන්ධ වැනි ස්වාභාවික පෝෂණ අතිරේක නිවැරදිව ලබාගන්නේ නම් එමගිනුත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.” වෛද්‍ය හිරුණි පූර්ණිමා වැඩිදුරටත් පැවසුවාය.

මෙම සංවාදයේදී කුරුලෑ සම්බන්ධ මානසික හා කායික පැතිමානයන්ද සාකච්ඡාවට බඳුන්  කෙරිණි. එහිදී අදහස් දැක්වූ Christell හි වෛද්‍ය ශමින්ද්‍රි බන්දුසේන Psychotherapist & Communication Specialist කුරුලෑ සහ මානසික යහපැවැත්ම අතර පවතින සමීප සම්බන්ධතාව පැහැදිලි කළාය.

“ආතතිය මගින් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යනවා. එමගින් කුරුලෑ වැඩි වීමට පුළුවන්. අනෙක් අතට කුරුලෑ නිසා ආත්ම විශ්වාසය අඩු වී ආතතිය ඇති වීමෙන් තත්වය දරුණු අතට හැරීමටත් පුළුවන්. හුදෙක් සම සුවපත් කිරීමේ අරමුණින් ඔබ්බට ගොස් ආතතිය අවම කරගෙන ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම පෙන්වා දීම නිවැරදිව කුරුලෑ සුවපත් කිරීමේ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් විය යුතුයි.” වෛද්‍ය ශමින්ද්‍රි බන්දුසේන පැවසුවාය.

මෙහිදී චර්ම සත්කාර ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් Christell Acne Lab හි නිර්මාතෘ විශේෂඥ Aesthetic and Regenerative Medicine Specialist  වෛද්‍ය ශානිකා අර්සකුලරත්න මහත්මිය පෙන්වා දුන්නේ, ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින චර්ම සත්කාර ක්‍රමවේදයන් මගින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බවයි.   

“චර්ම සත්කාර ක්ෂේත්‍රය වේගයෙන් පරිණාමය වෙමින් පවතින ක්ෂේත්‍රයක්. කුරුලෑ වැනි සරල ලෙස පෙනෙන දෙයකට ප්‍රතිකාර කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෛද්‍යවරුන් එකට එකතු වන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා Acne Lab වැඩසටහන ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඇත්ත වශයෙන්ම, කුරුලෑ සම්බන්ධයෙන් කල් පවතින ප්‍රතිඵල ලබාගැනීමට හැකි වන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ පරිපූර්ණ ප්‍රවේශයක් තුළින් පමණයි.” වෛද්‍ය ශානිකා අර්සකුලරත්න (Specialist in Aestehtic and Regenerative Medicine) මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම වැඩසටහන, චර්ම සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්, චර්ම ගැටලුවලට කඩිනමින් සහය ලබාගත හැකි පසුබිමක් නිර්මාණය කිරීම සඳහා Christell Acne Lab දරන පුළුල් ප්‍රයත්නයක එක් වැදගත් පියවරකි. මෙම ප්‍රයත්නයෙහි එක් අදියරක් වශයෙන්, කුරුලෑ යනු හුදෙක් රූපලාවණ්‍ය ගැටලුවක් නොවන බවත්, එය සමස්තයක් ලෙස පුද්ගලයාටත් ඔහුගේ/ඇයගේ ශරීරයටත් බලපාන ගැටලුවක් බවත් පෙන්වා දීම Christell Acne Lab හි අරමුණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close