August 15, 2025
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක් වීප්‍රථම වරට කිරි කර්මාන්තයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා නිපුණතා සම්මුතියක් හඳුන්වාදෙයි
පුවත්

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක් වීප්‍රථම වරට කිරි කර්මාන්තයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා නිපුණතා සම්මුතියක් හඳුන්වාදෙයි

Aug 14, 2025

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fonterra Brands Lanka) සමාගම තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් 8 ක් සමග එක්ව සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා වන ප්‍රථම ජාතික වෘත්තීය නිපුණතා සම්මුතිය පසුගියදා නිල වශයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වෙත භාරදෙන ලදි. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමට අමතරව මිල්කෝ (පුද්ගලික) සමාගම, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම, රිච්ලයිෆ් ඩේරීස් සමාගම, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, චෙලෝ ඩේරි ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම, නෙස්ලේ ලංකා සමාගම, පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම සහ ලයන් බෲවරි (සිලෝන්) පීඑල්සී යන සමාගම් මෙම නිපුණතා සම්මුතිය  සකස් කිරීම සඳහා දායක විය. 

කිරි කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණතා විධිමත් රාමුවක් තුළට කේන්ද්‍රගත කිරීම සහ දීර්ඝ කාලයක් පුරා කිරි කර්මාන්තය තුළ සේවය කර අත්දැකීම් ලැබූ, එහෙත් තම නිපුණතා සඳහා විධිමත් වෘත්තීමය සහතිකයක් නොමැති යන්ත්‍ර ක්‍රියාකරුවන්ට එම සුදුසුකම් ලබාගැනීමට උපකාරී වීම මෙම වැඩසටහනෙහි ප්‍රධානතම අරමුණ විය. කිරි නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව රැසක දායකත්වය සහ අරමුදල් සම්පාදනය ඔස්සේ වසරක අධික කාලයක් වැය කරමින් මෙම නිපුණතා සම්මුතිය  සකස් කරන ලදි. මෙය රටේ ජාතික මට්ටමේ නිපුණතා සංවර්ධනයට දායක වීම සඳහා කිරි කර්මාන්තය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ සාමූහික ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැක.

මින් ඉදිරියට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග සම්බන්ධ වී සිටින පුහුණු ආයතනවල මෙම නිපුණතා සම්මුතිය  ක්‍රියාවට නැංවෙනු ඇති අතර, එමගින් රට පුරා වෙසෙන කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තම නිපුණතා සඳහා විධිමත් පිළිගැනීමක් හිමිකරගෙන තම වෘත්තීය ජීවිත වැඩිදියුණු කරගැනීමට අවස්ථාව උදා වනු ඇත.

“ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා යනු මෙරට කිරි කර්මාන්තය තුළ සුවිශේෂී පිළිගැනීමක් හිමි දැවැන්ත සමාගමක්. ඔවුන් රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. ෆොන්ටෙරා  සමාගම කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් කිහිපයක් සමග එක්ව මෙම වටිනා ප්‍රයත්නය සාර්ථක කරගැනීමට පුරෝගාමී දායකත්වයක් ලබාදුන්නා. අමාත්‍යාංශය වෙනුවෙන් අප එය බෙහෙවින් අගය කරනවා.” වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු නලින් හේවගේ මහතා පැවසීය.

“මෙය අතිශය කාලෝචිත පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. දැනටමත් කිරි කර්මාන්තය තුළ සේවය කරන්නන්ට මෙන්ම අලුතින් කර්මාන්තයට ප්‍රවේශ වන්නන්ටත් මෙය බෙහෙවින් වැදගත් වේවි. මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබුවේ ඒ සඳහා ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී තිබුණු නිසයි. මෙය සාර්ථක කරගැනීමට නන් අයුරින් දායක වූ සියලුම දෙනාට අප ස්තූතිවන්ත වනවා.” තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ. ඒ. ලලිතධීර මහතා පැවසීය.

මෙම නිපුණතා සම්මුතිය  කිරි කර්මාන්තයේ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ආදර්ශයක් බවට පත්වනු ඇති අතර, එමගින් ප්‍රායෝගික පළපුරුද්දට ගැළපෙන විධිමත් වෘත්තීය සුදුසුකම් පිරිනැමීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙය ශ්‍රම බලකායේ තිරසාර සංවර්ධනය උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමේ වැදගත්කම මැනැවින් පෙන්වා දෙන වැඩසටහනක් ලෙසද හැඳින්විය හැකි වේ.

“මෙම නිපුණතා සම්මුතිය  වසරක් පුරා දැරූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. නිපුණතා සහිත පුද්ගලයන්ට ඒ සඳහා විධිමත් පිළිගැනීමක් හිමි විය යුතු බවට අප තුළ දැඩි විශ්වාසයක් තිබුණා. එය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම, කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම සතුටට කරුණක්. මෙය අපගේ සේවක සේවිකාවන්ට පමණක් නොව සමස්ත කර්මාන්තයටම වැදගත් පියවරක් බව අප විශ්වාස කරනවා. ඉදිරියේදී සමාගමක් වශයෙන් මෙන්ම කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාවේ දියුණුවට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන ආයතනයක් වශයෙන් ශ්‍රම බලකායේ නිපුණතා වැඩිදියුණු කරමින් රටේ සංවර්ධනයට අත්වැලක් වීම අපගේ අරමුණයි.” ෆොන්ටෙරා සමාගමේ සාමාන්‍යාධිකාරී ෆස්ලාන් ෆයිසාල් මහතා පැවසීය.

මෙය හුදෙක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ යහපත වෙනුවෙන් පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපන පද්ධතියට අර්ථවත් පූර්වාදර්ශයක් ලෙස හැඳින්විය හැක. පොදු අරමුණක් මුල්කර ගනිමින් ක්‍රියාවට නංවනු ලැබූ මෙම සාමූහික ප්‍රයත්නය, මෙරට කිරි කර්මාන්තය තුළ වඩාත් දක්ෂ, තරගකාරී සහ අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දෙනු නිසැකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close