
බැතිබර මෙහෙවර දශකය සපුරයි: ශ්‍රී දළදා මාලිගාවට නැවතත් SLT-MOBITEL තාක්ෂණික අතහිත
සංස්කෘතික උරුමයත් තාක්ෂණයේ මහිමයත් එක්තැන් කරන SLT-MOBITEL සහ ශ්‍රී දළදා මාලිගාව අතර සබැඳියාවයළි අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව අඛණ්ඩව 10 වන වසරටත් ශ්‍රී දළදා මාලිගාවේ නිල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරන අතරම රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වීම සඳහා SLT-MOBITEL කැප වී සිටී. ශ්‍රී දළදා මාලිගාව සමග පවත්වාගෙන යන මෙම හවුල්කාරීත්වය එම කැපවීමෙහි තවත් වැදගත් අංගයකි.
ශ්‍රී දළදා මාලිගාව මෙරට ආගමික හා සංස්කෘතික වශයෙන් සුවිශාල වැදගත්කමක් උසුලන පූජනීය ස්ථානයක් වන අතර, එය මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකේ. එවන් පූජනීය ස්ථානයකට මේ ආකාරයට දිගින් දිගටම අති නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් සැපයීම, ශ්‍රී ලාංකික සංස්කෘතියේ ප්‍රගමනය වෙනුවෙන් SLT-MOBITEL දක්වන උනන්දුව මැනැවින් ප්‍රකට කරන්නකි.
මෙම හවුල්කාරීත්වය යටතේ SLT-MOBITEL විසින් ශ්‍රී දළදා මාලිගාවට අති නවීන ෆයිබර් තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල පහසුකම්, දුරකථන සේවා සහ PEOTV පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ. මෙම පහසුකම් හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාව මගින් පවත්වනු ලබන විවිධ ආගමික හා සංස්කෘතිය වැඩසටහන් සකල ලෝකවාසී බෞද්ධයන් මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් විකාශය කිරීමට එහි මාධ්‍ය මධ්‍යස්ථානයට හැකියාව ලැබී ඇත.
මෙම හවුල්කාරීත්වයේ එක් ප්‍රධානතම අංගයක් වශයෙන් SLT-MOBITEL විසින් මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය PEOTV සේවාව සමඟ ඒකාබද්ධ වෙමින් සජීවීව විකාශය කිරීම සඳහා පහසුකම් සලසා දෙනු ලැබේ. එම පහසුකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයන්ට රූපවාහිනී නාලිකා සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ එම පෙරහැර මංගල්‍යය සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වී ඇත. තවද මෙමගින් ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ විවිධ වාර්තා වැඩසටහන්, වීඩියෝ දර්ශන සහ ඡායාරූප ආදිය සංරක්ෂණය කර පවත්වා ගැනීමටත්, ජනතාවට ඒවා නැරඹීමට අවස්ථාව උදාකර දීමටත් හැකියාව ලැබී ඇත.