August 15, 2025
CINEC Campus, එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලය සමඟ එක් වෙයි
පුවත්

CINEC Campus, එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලය සමඟ එක් වෙයි

Aug 10, 2025

ශ්‍රී ලංකාවේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වන CINEC Campus, එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලය (ARU) සමඟ සුවිශේෂී අධ්‍යයන හවුල්කාරීත්වයකට එළඹි බව පසුගියදා නිවේදනය කරන ලදී. අන්තර්ජාතික උසස් අධ්‍යාපනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහයෝගීතාව අධ්‍යයන විශිෂ්ටත්වය හා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන කීර්තිමත් අධ්‍යයන ආයතන දෙකක එකතුවක් ලෙසද පෙන්වා දිය හැකිය.

1858 වසරේදී ආරම්භ කරන ලද Anglia Ruskin විශ්වවිද්‍යාලය 2023 වසරේදී Times Higher Education University ලෙස පිළිගැනීමට ලක් වූයේ ඉගැන්වීම, සේවා නියුක්තිය, ගෝලීය සහභාගීත්වය හා පහසුකම් සම්බන්ධයෙන් වන සුවිශේෂී 5-star QS ශ්‍රේණිගත කිරීමක් ද අත්පත් කර ගනිමිනි. ඉගැන්වීම් විශිෂ්ටත්වය වෙනුවෙන් හිමිකරගත් TEF Gold සම්මානය තුලින් ජාත්‍යන්තර වශයෙන් තමන් ලබා ඇති විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමටද Anglia Ruskin විශ්වවිද්‍යාලය සමත් විය.

1990 වසරේදී මෙරට සමුද්‍රීය පුහුණු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ආරම්භ කරන ලද CINEC අද වන විට මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු බවට පත්ව ඇත්තේ සහතික පත්‍ර මට්ටමේ සිට පශ්චාත් උපාධි මට්ටම දක්වා පීඨ 8ක වැඩසටහන් 200කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරමිනි. පසුගිය වසර 5ක කාලය තුළ 20,000ක පමණ වාර්ෂික සිසු ලියාපදිංචියක් වාර්තා කළ CINEC, STCW සම්මුතියට අනුකූලව කටයුතු කරමින් ෆිජී සහ සීෂෙල්ස්හි මෙහෙයුම් සඳහාද ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව සිටියි.

උතුරු, නගෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ අනෙකුත් පළාත්වල CINEC ශාඛා මෙන්ම කොළඹ Metro Campus සහ වයඹ පළාතේ ජාත්‍යන්තර හෝටල් පාසල CINEC යටතට අයත් වේ. 2023 වසරේදී ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපාධි ප්‍රධානය කිරීමේ සුදුසුකම ලබා දුන් දා සිට පෞද්ගලික උසස් අධ්‍යාපන අංශයේ පෙරමුණ ගැනීමට CINEC Campus සමත්ව සිටියි. ඒ නිසාම CINEC Campus 2019, 2022 සහ 2024 වසරයන්හිදී අධ්‍යාපන සේවා සඳහා වූ ජනාධිපති අපනයන සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේ සිය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමිනි.

තවද අත්කරගෙන සිටින ජාත්‍යන්තර විශිෂ්ටත්වය තව දුරටත් ශක්තිමත් කරමින් 2017 වසරේ සිට පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති CINEC Campus ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ පිළිගත් සාමාජිකයකු ලෙස ලෝක උසස් අධ්‍යාපන දත්ත එකතුවේ (World Higher Education Database (WHED)) ලැයිස්තු ගත කර ඇත.

CINEC Campus සහ එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලය සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය හරහා ඉංජිනේරු, පරිගණක සහ සෞඛ්‍ය විද්‍යාවන්හි බලයලත් එක්සත් රාජධානියේ සුදුසුකම ලබා දීමේ හැකියාව CINEC Campus වෙත හිමි වේ. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ගෝලීය වශයෙන් පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා පහසුවෙන් සපුරා ගැනීමට අවස්ථාව උදා වනු ඇත. මේ සියලු අධ්‍යාපන අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී අති නවීන පහසුකම්වල සිට අධ්‍යාපන විශිෂ්ටත්වය මෙන්ම යටිතල පහසුකම් තුලින් සිසු සිසුවියන් වෙත නොමඳ සහයෝගයක් ලබා දීමට CINEC Campus කටයුතු කරයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ගරු Anderw Patrick මහතා මෙහිදී අදහස් දක්වමින් CINEC Campus පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනයක් ලෙස සිසුන්ට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන ආදර්ශමත් අධ්‍යාපන ආයතනයක් බවට ප්‍රශංසාව පළ කරන ලදී.

එමෙන්ම භෞතික විද්‍යාඥයකු ලෙස මේ ආකාරයේ නවීන පහසුකම් සහ විශිෂ්ටත්වය තුලින් ඉහළ දැනුමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳව තමන් සතුටු වන බවද ඒ මහතා ස`ඳහන් කර සිටියේය.

පසුගියදා CINEC Campusහි සංචාරයක නිරත වූ ඒ මහතා එහිදී ලද අත්දැකීම් පිළිබඳවද මෙහිදී අදහස් බෙදා ගන්නා ලදී.
තවද ඉහළ ශ්‍රේණිගත කිරීමත් අත්කර ගෙන සිටින Anglia Ruskin විශ්වවිද්‍යාලය සමඟ ඉතා වැදගත් හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම පිළිබඳවද ඒ මහතා CINEC Campus වෙත ප්‍රසාදය පළ කිරීමටද මෙහිදී කටයුතු කළේය.

අධ්‍යාපන ගුණාත්මකභාවය, සේවා නියුක්තිය සහ ගෝලීය සහයෝගීතාව වෙනුවෙන් වන ඒකාබද්ධ කැපවීමක් ප්‍රදර්ශනය කරනු ලබන මෙම හවුල්කාරීත්වය සිසු සිසුවියන්, අධ්‍යාපන පීඨ සහ ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ නව මානයන් විවර කිරීමටද අවස්ථාවක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close