September 13, 2025
ගොවීන්ට නවීන තාක්ෂණය හඳුන්වාදීමට කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හවුල්වෙයි
පුවත්

ගොවීන්ට නවීන තාක්ෂණය හඳුන්වාදීමට කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හවුල්වෙයි

Jul 30, 2025

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් අතර ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් සපයන උසස් තත්ත්වයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කරන ගොවීන්ට අභිරුචිකරණය කළ ලීසිං හා ණය පහසුකම් ලබා දෙන බව නිවේදනය කර ඇත. එය නවීන උපකරණ දැරිය හැකි ආකාරයකින් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කාෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා වූ පියවරකි.

මෙම හවුල්කාරීත්වය යටතේ, හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් ට්‍රැක්ටර්, අස්වනු නෙළන යන්ත්‍ර සහ අනෙකුත් කෘෂිකාර්මික උපකරණ මිලදී ගන්නා ගොවීන්ට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ කෘෂි ලීසිං පහසුකම් සහ දිරිබල හරිත සංවර්ධන ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට හැකි වේ. වගා චක්‍ර, සුදුසු පොලී අනුපාත සහ වේගවත් ක්‍රියාපටිපාටි සමඟ ගැලපෙන ලෙස සකස් කළ නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම ඇතුලත් මෙම පහසුකම් මඟින් ගොවි ප්‍රජාවන් මත මූල්‍ය බර අඩු කරන අතරතුර යාන්ත්‍රිකකරණය සහ ඵලදායීතාවය ප්‍රවර්ධනය කරයි.

මෙම වැඩසටහන හරහා ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ගොවීන් මුහුණ දෙන සීමාවන් සැලකිය යුතු ලෙස ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් ඔවුන්ට අධික ශ්‍රමයක් වැය වන සාම්ප්‍රදායික ක්‍රමවලින් ඉවත් වී කාර්යක්ෂමතාවයෙන් ඉහළ තාක්ෂණයන් මත පදනම් වූ ක්‍රියාපටිපාටි වෙත යොමු වීමට හැකි වනු ඇත. මෙය, ජාතික මට්ටමෙන් මෙන් ම කලාපීය මට්ටමෙන් ද බෝග අස්වැන්න වැඩි කිරීම, මෙහෙයුම් පිරිවැය අඩු කිරීම හා ආහාර සුරක්ෂිතතා අරමුණු ළඟාකර ගැනීම සඳහා සහාය වනු ඇතැයි බැංකුව පවසයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය, එස්. ගනේෂන් මහතා මෙසේ පැවසීය: “හේලීස් ඇග්‍රිකල්චර් සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය මගින් ග්‍රාමීය ජීවනෝපායන් ශක්තිමත් කිරීම සහ කෘෂිකාර්මික අංශයේ තිරසාරභාවය සහතික කිරීම සඳහා අපගේ කැපවීම පිළිබිඹු කරයි. මෙම අංශයේ සංවර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සඳහා කෘෂිකාර්මික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව අපි හඳුනාගෙන ඇත්තෙමු.”

හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි කළමණාකාර අධ්‍යක්ෂ ජයන්ති ධර්මසේන මහත්මිය මෙසේ පැවසුවාය: “හේලීස් ඇග්‍රිකල්චර් සෑමවිටම නව්‍යෝත්පාදනයන් හා ප්‍රවේශයන් තුළින් ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමට උත්සාහ කරයි. කොමර්ෂල් බැංකුව වැනි විශ්වාසදායක හවුල්කරුවෙකු සමඟ වැඩ කිරීමෙන්, අපට උසස් තාක්ෂණික යාන්ත්‍රිකකරණය වඩාත් දැරිය හැකි මිලකට ලබා දිමට හැකි වේ.”

ශ්‍රී ලංකාවේ ගොවීන්ට ඇති තීරණාත්මක අභියෝග වන්නේ යාන්ත්‍රිකකරණ තාක්ෂණයේ අඩු මට්ටම සහ ණය ලබා ගැනීමේ සීමිත අවස්ථා බව ආයතන දෙකෙන් ම හඳුනාගෙන තිබීම, මෙම හවුල්කාරීත්වය සඳහා මුල් පියවර විය. උසස් තාක්ෂණය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන මූල්‍යකරණ විසඳුම් සමඟ සම්බන්ධ කිරීම හරහා, ගොවි ප්‍රජාවන් නඟා සිටුවීම සහ වඩාත් තරඟකාරී හා තිරසාර කෘෂිකාර්මික භූ දර්ශනයක් පෝෂණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close