September 13, 2025
KIA සමාගම නවතම 2026 Sportage හා Carnival Hybrid මෝටර් රථ ශ්‍රී ලංකාවේ එළි දක්වයි
පුවත්

KIA සමාගම නවතම 2026 Sportage හා Carnival Hybrid මෝටර් රථ ශ්‍රී ලංකාවේ එළි දක්වයි

Jul 12, 2025

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් KIA සමාගම, කොළඹ සිනමන් ලයිෆ් හි පැවති සුවිශේෂී මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sportage හා 2026 Kia Carnival Hybrid නවතම මාදිලි දෙකක් එළි දැක්වීය.

ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන් හට නිර්මාණ නව්‍යෝත්පාදනය, උසස් තාක්ෂණය සහ තිරසාර සංචලනයෙන් සැදුම් ලත් ගෝලීය මට්ටමේ වාහන පිරිනැමීමට Kia දක්වන කැපවීම, මෙසේ මෝටර් රථ වර්ග දෙකක් එකවර දියත් කිරීම මගින් අවධාරණය වේ. 

උත්සවය අමතමින් Kia මෝටර්ස් (ලංකා) සභාපති මහේන් තම්බයියා මහතා මෙසේ පැවසීය: “අද අපි ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් ම ප්‍රතිනිර්මාණය කරන ලද මාදිලි එකක් නොව දෙකක් ම ගෙන ආ තීරණාත්මක මෙහොතකට සම්බන්ධ වුනෙමු. නව Sportage Hybrid රථය සෑම වික්‍රමයක් හා ජීවන රටාවක් සඳහා ම සූදානම් ලෙස නිර්මාණය කර ඇති අතර Carnival Hybrid රථය නූතන පවුලේ ගමන් බිමන් සඳහා නව ප්‍රමිතීන් සකසයි. මේ මාදිලි දෙකම Kia හි දර්ශනය මනාව පිළිබිඹු කරන අතර මෙම අංශයේ අපේක්ෂාවන් නැවතත් අර්ථ දක්වනු ඇත.”

2026 Kia Sportage – සෑම වික්‍රමයකට ම සූදානම්

2026 Sportage රථය Kia හි වැඩියෙන් ම අලෙවි වන SUV කාණ්ඩයේ නවීනත ම පුනරාවර්තනය නියෝජනය කරන අතර ගෝලීය වශයෙන් එහි ඒකක මිලියන හතකට වඩා අලෙවි වී ඇත. මධ්‍යම ප්‍රමාණයේ SUV කාණ්ඩයේ නව ප්‍රමිතීන් සැකසීම සඳහා වැඩි දියුණු කරන ලද Sportage රථය, එඩිතර නව පෙනුමක්, අති නවීන දෙමුහුන් එන්ජිමක් සහ තාක්ෂණික නවීකරණ රාශියක එකතුවකි.

බාහිර නිර්මාණය සැලකීමේ දී, Sportage හි කැපී පෙනෙන සිලුරුව රළු ආකෘති සමඟ ඒකාබද්ධ වන සුමට මතුපිටකින් අර්ථ දක්වා ඇති අතර, සුවිශේෂී ‘කොටි මුහුණ’ නියෝජනය කරන ඉදිරි කොටස සහ තරු සිතියම් ආලෝකකරණ LED ලාම්පු නිසා මාර්ගය මත වාහනයේ කැපී පෙනෙන පැවැත්මක් නිර්මාණය කරයි. නව ඉදිරිපස සහ පසුපස බම්පර්, අඟල් 17 හෝ 18 රෝද විකල්ප සමඟින්, එහි ගතික ස්ථාවරය සම්පූර්ණ කරයි.

ඇතුළත නිර්මාණය සැලකීමේ දී, සුඛෝපභෝගී කුටිය මගින් වැඩි ඉඩකඩ සහිත පරිසරයක් ලබා දෙයි. පසුපස අසුනේ මගීන්ට සැපපහසුවට පාද තබා ගැනීම සඳහා මීටරයකටත් වඩා වැඩි ඉඩක් ලැබෙන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙන් වූ කොටසෙහි ඉඩ ලීටර 587 ක් දක්වා ද, දෙවන ආසන පෙළ නැමූ විට එම ඉඩ ලීටර 1,776 දක්වා ද පුළුල් වේ.

රිය පැදවීමේ අත්දැකීමෙහි විශිෂ්ටතම අංගය නම් අඟල් 12.3 ක ද්විත්ව වක්‍ර පරිදර්ශක සහිත සම්බන්ධිත මෝටර් රථ සංචාලන නියමු කුටියයි.

රිය පැදවීමේ අත්දැකීම තවදුරටත් ඔප්නැංවෙන්නේ උසස් ගණයේ Harman Kardon ශ්‍රව්‍ය පද්ධතිය, ත්‍රිමාණ දර්ශන සහිත අංශක 360 දෘෂ්‍ය පරාසයකින් අවට නැරඹිය හැකි මොනිටරය, රැහැන් රහිත ආරෝපණ පෑඩ් (wireless charging pad) සහ බහු මාදිලි ස්පර්ෂක පාලන (Multi-mode touchpad controls) යන අංග එකතු වීමත් සමඟිනි.

සෑම ගමනකම ආරක්ෂාව සහ විශ්වාසය ඉදිරියෙන් තබන උසස් තාක්ෂණයෙන් යුත් රියදුරු සහායක පද්ධතියක් සමඟින් එන මෙම රථයේ ලීටර 1.6ක ධාරිතාවයෙන් යුත් දෙමුහුන් පෙට්‍රල් ජව පද්ධතිය මගින් වේගවත් ක්‍රියාකාරීත්වයක් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ද ලබා දෙයි.

2026 Kia Carnival Hybrid  – අවකාශය, විලාසිතාව සහ නොසැලෙන ක්‍රියාකාරීත්වය

විශේෂ අවධානය දිනා ගත් නවතම 2026 Carnival Hybrid රථය, අති නවීන දෙමුහුන් ජව පද්ධතියක් ද සමඟින් වැඩි ඉඩකඩක් හා උසස් තත්ත්වයේ සුවපහසුවක් ලබා දෙයි.

Carnival රථයේ නැවුම් බාහිර මෝස්තරය මගින් SUV හි එඩිතර බවට සමාන හැඟීමක් ගෙන දෙයි. මූර්තිමය ඉදිරිපස කොටසක්, ඝනක හැඩැති ප්‍රධාන ලාම්පු සමඟින් එන සුවිශේෂී ඇම්බර් තරු සිතියම් ආලෝකකරණයක් සහිත දිවා කාලයේ ධාවන ලාම්පු සහ නෙත් ඇද ගන්නා සුළු අඟල් 18 ඇලෝයි රෝද මගින් සුවිශේෂී හා නවීන පෙනුමක් නිර්මාණය කරයි.

ඇතුළත නිර්මාණයේ දී, Carnival රථය උසස් ම පන්තියේ බහුකාර්ය හැකියාවන් ලබා දෙමින් ඝන අඩි 145.1 ක් දක්වා වූ භාණ්ඩ පැටවිය හැකි ඉඩක් ද සමඟින් මගීන් හත් දෙනෙකුට හෝ අට දෙනෙකුට ද සරිලන ඉඩ පහසුකම් සපයයි. රථයේ ඇතුළත අවම මෝස්තර ප්‍රමාණයක් යොදා ගනිමින් සියුම්ව නිමවා ඇති අතර අඟල් 12.3ක ඩිජිටල් උපකරණ පුවරුවක් සහ තොරතුරු රඳවන තිරයක් මෙන් ම විශාල ද්විත්ව කෝප්ප රඳවන වැනි ප්‍රායෝගික උපාංග ද සකස් කර ඇත.

Carnival Hybrid රථයේ ලීටර 1.6ක ටර්බෝ සුපිරි ආරෝපණයෙන් බලගැන්වූ එන්ජිමකට 54kW විදුලි මෝටරයක් යුගලනය කර ඇති අතර අශ්වබල 242ක්, රාත්තල්-අඩි 271ක ව්‍යාවර්ථයක්, සහ ලීටරයට 14km ඇස්තමේන්තුගත ඉන්ධන කාර්යක්ෂමතාවයක් ද ලබා දෙයි.

ඇතුළත ඉතාමත් ප්‍රමාණවත් ඉඩකඩ සහිත Carnival Hybrid රථයේ ආසන 7කින් යුත් සැකසුමේ කොටසක් වන එහි දෙවන ආසන පේළියේ විවේකීව හාන්සි විය හැකි VIP ආසන, යන සියල්ල අද කාලයේ මාර්ගවල ගමන් කිරීමේ දී පසුපස මගීන්ට වඩාත්ම සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙයි.

මෙහි විශේෂ කරුණක් නම්, එයටම ආවේණික ආකර්ෂණීය ගුණාංගවලට අමතරව, Kia Carnival Hybrid රථය උසස් මට්ටමේ SUV රථයක් විලසින් ම සුවපහසුවෙන් ධාවනය වීමයි.

වගකීම හා කැපවීම

Kia Sportage හා Kia Carnival  යන දෙකට ම වසර පහක් නැතිනම් කිලෝමීටර 150,000 ක (කුමක් හෝ පළමුව සිදුවන ආකාරයක) පුළුල් වගකීමක් ඇති අතර, එමගින් වාහනවල ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය කෙරෙහි Kia මෝටර්ස් (ලංකා) සමාගමෙහි ඇති විශ්වාසය නැවතත් තහවුරු කරයි.   

Kia මෝටර්ස් (ලංකා) සමාගම 1996 සිට ශ්‍රී ලංකාව තුළ Kia සන්නාමය නියෝජනය කර ඇති අතර එය මෙරට ජනප්‍රියතම මෝටර් රථ සන්නාමයක් බවට පත් කිරීමට ද දායක වී ඇත. 1944 දී ආරම්භ කරන ලද Kia සමාගම 2024 දී ලොව රටවල් 190 කට අධික සංඛ්‍යාවක වාහන 3,089,300 ක් අලෙවි කර ඇත. Kia සමාගම විදුලි වාහන වෙත ප්‍රවේශ වීමට පෙරමුණ ගෙන ඇති අතර ලොව පුරා නාගරික ප්‍රදේශවල ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා රථවාහන නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වයක් දක්වයි. සමාගමේ සන්නාම සටන් පාඨය ‘Movement that Inspires’ අපේක්ෂාවන් ඉක්මවා යන ආකර්ෂණීය හා ආශ්වාදජනක අත්දැකීම් සමඟින් ලෝකය පුදුම කරවීමට Kia හි ගෝලීය කැපවීම පිළිබිඹු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close