August 15, 2025
Agro Harvest Cultivation සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතිය BWIO සම්මාන ලබයි
පුවත්

Agro Harvest Cultivation සමාගමේ නව්‍ය කෘෂි-සංචාරක ව්‍යාපෘතිය BWIO සම්මාන ලබයි

May 31, 2025

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය මූලික කර ගෙන දියත් කර ඇති කෘෂි සංචාරක සහ තිරසාර වගා ව්‍යාපෘතියකි. අක්කර 3.5ක භූමි භාගයක පැතිරී ඇති එම ව්‍යාපෘතිය තුළින් කෘෂි සහ සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධ කර ග්‍රාමීය ජීවිතය, පරිසර හිතකාමී වගා කටයුතු සහ සුවතාව පිළිබඳ ආකර්ෂණීය අත්දැකීමක් සංචාරකයන්ට සැපැයීමට අපේක්ෂා කෙරේ. එය දේශීය කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය යන අංශ දෙකම ප්‍රවර්ධනයට හේතු වේ.

මේ වන විට ව්‍යාපෘතියට අවශ්‍ය මූලික පියවර Agro Harvest Cultivation සමාගම ආරම්භ කර ඇති අතර එහි වගා ව්‍යාපෘති ආරම්භයට පෙර පර්යේෂණ වගා ලෙස ගස්ලබු සහ වැල්දොඩම් වගා මාතලේ ප්‍රදේශයේ අරඹා තිබේ. මෙම සංකල්පය යටතේ කාබනික බෝග වගාවට අත්වැලක් වීමේ අරමුණෙන් වාණිජ vermi-compost (ගැඩවිල් පොහොර) නිෂ්පාදනය මේ වන විට ආරම්භ කර ඇත. කුරුඳු, ගම්මිරිස්, කරඳමුංගු වැනි ඉහළ වටිනාකමක් සහිත කුලුබඩු වර්ගද, එළවලු සහ පලතුරු  ඇතුළුව බෝග වර්ග රැසක් වගා කරමින් ඉදිරියේදී වගා කටයුතු පුළුල් කිරීමට සැළැසුම් කර තිබේ. හරිතාගාර යොදා ගනිමින් ආරක්ෂිත ක්‍රමවේද යටතේ බෝග වගා කිරීම මේ ව්‍යාපෘතියේ ඉදිරි සැළැසුම් වේ. මෙම ව්‍යාපෘතියට කබානා වර්ගයේ පරිසර හිතකාමී විලා (Villa) හයක්, ‘වගා බිමෙන් මේසයට’ (Farm to Table) සංකල්පය පදනම් කර ගත් ආපන ශාලාවක්, ආයුර්වේද සම්බාහන සහ භාවනා මධ්‍යස්ථානයක් ඇතුළත් වේ. පක්ෂීන් නැරඹීම, පාපැදි පැදීම වැනි පරිසරය පදනම් කර ගත් ක්‍රියාකාරකම්වල යෙදීමට සංචාරකයන්ට අවස්ථාව සළසයි. Agro Harvest Cultivation වගකීම්සහගත සංචාරක කර්මාන්තයට, කෘෂිකර්මාන්තයට සහ තිරසාරත්වයට ප්‍රමුඛතාව දෙන වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් ආයතනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close