අලූත් යමක්ජීවිතයධනයනායකයෝපුවත්

අපේ රටේ මිනිස්සු නැකැත් බලනවා. මොන නැකත බැලු‍වත් වැඩක් නැහැ, වෙලාවට වැඩ කරන්න බැරි නම්

සුචින්ත ප්‍රනාන්දු
සභාපති, විධායක අධ්‍යක්‍ෂ – WINGS FOR WORLD ආයතනය

WINGS FOR WORLD ආයතනය ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇත්තේ 2014 වර්ෂයේදී ය. මෙහි ප්‍රධාන ශාඛාව මීගමුවේ පිහිටා තිබෙන අතර අනෙකුත් ශාඛා වෙන්නප්පුවේ සහ වත්තල පිහිටා තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය, කොරෝනා වසංගතය, රටේ දේශපාලන අස්ථාවරත්වය යනාදී ගැටලු‍කාරී තත්ත්වයන් කොපමණ පැවතිය ද, මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත්ව තිබේ. උතුරු ඉතාලියේ පිහිටා තිබෙන මෙම ආයතනයේ මව් ශාඛාවට සම්මාන පවා හිමි වී තිබේ. මෙම ආයතනය එවැනි ඇගයීම්වලට පාත්‍ර වන්නට මෙම ආයතනයේ හිමිකරු සතුව ධනාත්මක ආකල්ප මෙන්ම සුවිශේෂී ව්‍යාපාරික දක්ෂතාවයන් තිබිය යුතු වේ. එවැනි ගුණාංගයන්ගෙන් සපිරි උෂභඨී ත්‍ධඍ උධඍඛෘ ආයතනයේ හිමිකරු අපේ ශ්‍රී ලංකාව යහපත් ආකල්ප, ගුණධර්මවලින් පිරිපුන් මිනිසුන් ජීවත්වන, සොරමැර, දූෂණ වංචාවලින් තොර රටක් බවට පත්කිරීමට දැඩි අධිෂ්ඨානයක් සිතේ දරාගෙන කටයුතු කරනු ලබයි. තව ද ඔහු අප රටේ ජීවත්වන මිනිසුන්ගේ ආකල්ප වෙනස් කර, අපේ රටට ගැළපෙන දෑ පමණක් ගෙන රටේ සංවර්ධනය කරා යෑමට කටයුතු කරනු ලබයි. WINGS FOR WORLD ආයතනය සහ වර්තමානයේ අපේ රටේ තත්ත්වය ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව WINGS FOR WORLD ආයතනයේ සභාපති/විධායක අධ්‍යක්ෂ, සුචින්ත ප්‍රනාන්දු මහතා සමඟ සිදු කළ සංවාද සටහනකි.

ඔබ ගැන කිව්වොත්?
මම සුචින්ත ප්‍රනාන්දු. අප WINGS FOR WORLD ආයතනය 2009 මුලින්ම ආරම්භ කරන්නේ ඉතාලියේ. ශ්‍රී ලංකාවේ ආරම්භ කළේ 2014 ජුනි මාසයේ. දැනට ශාඛා 03ක් තියෙනවා. ප්‍රධාන ශාඛාව මීගමුව නගරයේ පිහිටා තිබෙනවා. ඊට අමතරව වෙන්නප්පුවේ සහ වත්තල ශාඛා තිබෙනවා. අප කරන්නේ ගුවන් ටිකට් පත් අලෙවි ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරයක්. ලංකාවෙන් විදේශ රටවලට යන ශ්‍රී ලාංකික සංචාරකයන්ට සේවා සැපයීම අපේ ප්‍රධානතම අරමුණ වෙනවා. උතුරු ඉතාලියේ අපේ ආයතනය ගුවන් ටිකට්පත් අලෙවිය සම්බන්ධව තිබෙන ප්‍රධානතම ආයතනයක්. ඉතාලියේ අපේ ව්‍යාපාරයට ගුවන් සමාගම්වලින් සම්මාන පවා අප හට ලැබී තිබෙනවා. ඉතාලියේ වෙරෝනා නගරයේ පිහිටි ප්‍රධාන සමාගම ආරම්භ කරලා දැනට අවුරුදු 15ක් වෙනවා.

ගුවන් ටිකට් පත් අලෙවි කිරීමේ ව්‍යපාරයේ ගැටලු‍ පවතිනවා ද?
යුරෝපයේත්, ලංකාවේත් මේ ගුවන් ටිකට්පත් අලෙවි කිරීමේ ආයතනය විතරක් නෙමෙයි, මට තවත් ව්‍යපාර කිහිපයක් තියෙනවා. පාස්කු ප්‍රහාරය, කොරෝනා, දේශපාලන අස්ථාවරබව යනාදී ගැටලු‍කාරී තත්ත්වයන් නිසා ගුවන් ටිකට් පත් අලෙවි කිරීමේ ව්‍යපාරට යම් යම් බාධා සිදු වුණා. මෑත කාලයේ දී සිදුවුණු සිදුවීම්වලින් සංචාරකයන් මෙරටට පැමිණීම ටිකක් අඩු වුණා. කොරෝනා තත්ත්වය, මුළු ලෝකයේම උද්ධමනය වැඩි වීම, රුසියානු – යුක්රේන යුද්ධය වැනි හේතු නිසා ටිකට් පත්වල මිල වැඩි වීම, ගුවන් ටිකට්පත් අලෙවි කිරීමේ ව්‍යාපාරවලට යම් තර්ජනයක් ඇති වුණා.

ව්‍යාපාරයක් කරගෙන යන්න රටේ තියන ආර්ථික තත්ත්වය මේ කාලයේ හරියට බලපානවා. ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර මේ දවස්වල කඩාවැටීමකට ලක්වෙලා. ඇයි එහෙම වෙන්නේ?
කිසිම ව්‍යපාරයක් කරන්න ලෙහෙසි පහසු නෑ. රටේ ආර්ථික ප්‍රශ්න නිසා ව්‍යාපාරය කඩාවැටෙනවා නම්, ඒකට ඒ ව්‍යාපාරිකයාගේ යම් යම් දේවල් බලපානවා. රටේ ආර්ථිකය අස්ථාවර බව මුළුමනින්ම බලපාන්නේ නෑ. අනිවාර්යයෙන්ම අනපේක්ෂිත සිදුවීම් ව්‍යපාරවලට පැමිණෙනවා. ව්‍යාපාරයක් කරනකොට ඕනෑම දේකට ඔරොත්තු දෙන විදිහට සූදානම් වෙන්න ඕ‍නේ. කොයි වෙලාවක දී මොන විදිහේ බලපෑමක් ආවත්, ඒ බලපෑමට මුහුණ දී ව්‍යාපාර පවත්වාගෙන යන්න ව්‍යාපාරිකයන් දැනගන්න ඕනේ.
ලෝකයේ විශාල ආයතන පවා යම් යම් කාලවල දී කඩාවැටීමට ලක් වුණා. ඒ නිසා ලොකු පොඩි ව්‍යපාර කියලා නෑ, ඕනෑම ව්‍යපාරයක් අභියෝගවල් හමුවේ කඩානොවැටෙන විදිහට ගමන් කරන්න ව්‍යපාරිකයන් හැමවිටම තමන්ගේ දැනුම කුසලතා වර්ධනය කරගන්න අවශ්‍යයි. මොන දේ වුණත් ව්‍යාපාරය ඉස්සරහට නොවැටී ගෙනියන්න අවශ්‍යයි කියන එක ව්‍යපාරිකයන් ඔලු‍වට දාගන්න ඕනේ. එහෙම වුනොත් කඩාවැටීමක් නෑ.

බෝහෝ ව්‍යපාරිකයන් රජයෙන් බොහෝ දෑ බලාපොරොත්තු වෙනවා. ඔබට ඒ පිළිබඳව තිබෙන මතය කුමක් ද?
ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රටවල රාජ්‍ය ව්‍යවසායකත්වය අඩු කරලා, පෞද්ගලික ව්‍යවසායකත්වය වැඩි කරන දේ සිදු කරනවා. ඒක ලෝකයේ රටවල දැන් පවතින ප්‍රවණතාවයක්. රජයෙන් දෙන සහන බලාගෙනම ව්‍යපාර කරන්න බැහැ. ව්‍යපාරවල දී හැමවෙලාවකදීම හොඳ අඩිතාලමක් තියෙන්න ඕනේ. කොරෝනා කාලයේ දී ලෝකයේ බොහෝ රටවල් ඉස්සෙල්ලම කළේ පාරිභෝගිකයා ආරක්ෂා කරන එක. විවිධ සහන, මිල අඩු කිරීම් ඔස්සේ පාරිභෝගිකයන්ව ආරක්ෂා කළා. ඊළඟට ව්‍යපාරවල අඩුපාඩු මකාගන්න ව්‍යපාරිකයන්ට රජයෙන් විවිධ සහන ලබාදුන්නා. ශ්‍රී ලංකාවේ මිනිස්සු රජයෙන් යැපෙන ප්‍රමාණය වැඩියි. එතකොට මිනිසුන්ගේ ස්වංපෝෂිත බව අඩු යි.
විදේශ රටවල දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වුණ ගමන් ඔවුන්ට තමන්ගේ ව්‍යපාරයක් කරන්න අඩිතාලම සලසා දෙනවා. ඒත් ලංකාවේ දරුවන් තමන්ගේම දෙයක් කරනවාට වඩා රජයෙන් දේවල් ඉල්ලන්ට යනවා. අන්න ඒ අඩුපාඩුව අප හදාගන්න ඕනේ.
ශ්‍රී ලංකාවේ සමහර ප්‍රභල ව්‍යපාරිකයන් ඉන්නවා රජයෙන් පමණක් යැපෙන්නේ නැතුව, තමන්ගේ ඉදිරිය නිසි පරිදි සකසාගෙන ඉන්න අය. සමහර ව්‍යාපාර රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන අපනයන සීමා කිරීම් යන කරුණු හින්දා බිඳවැටෙනවා. ඒ නිසා කවර දේශපාලන පක්ෂයක් විසින් හෝ කුමන පුද්ගලයකු විසින් හෝ පාලනය කළත් මොන දේ වුණත් දීර්ඝකාලීන, රටේ තිබෙන වටිනා දේවලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්, ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති රට තුළ තිබීම අවශ්‍යයි. දිගුකාලීන, ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති තිබෙනවා නම් රටක ව්‍යපාර බිඳවැටෙන්නේ නැහැ. රට පරිහානියට පත්වෙන්නෙත් නෑ.

අද වනවිට අපේ රටේ ජනතාව විදේශ රටවලට යෑමේ ප්‍රවණතාවයක් තියනවා. ඔබ ඒ ගැන හිතන්නේ කුමක් ද?
රටක් ඇතුළේ තිබෙන සම්පත් විදේශ රටවලට යන එක (බුද්ධි ගලනය) අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ තිබුණ දෙයක්. ලංකාවේ අ.පො.ස. උසස් පෙළ වැඩියෙන් ලකුණු අරන් සමත් වෙන සිසුන්ට ජපානයට ශිෂ්‍යත්ව ලබාදෙනවා. මම දන්න තරමට ඒ විදිහට ජපානයට යන දරුවෝ කිසිම කෙනෙක් ආපහු ලංකාවට ආවේ නෑ. ඒ විදිහට ලංකාවේ බුද්ධිමතුන් ලංකාවෙන් පිටවෙලා යන එක රටට ලොකු හානියක්. උදාහරණයක් කිව්වොත් මේ දවස්වල මාත් එක්ක බැංකුවේ වැඩ කරපු මගේ යාලු‍වෝ පවුල් පිටින් විදේශ රටවලට යනවා. ඒ විදිහට හැමෝම රට යන්න වුනොත් කළමණාකාර ක්‍ෂේත්‍රයට හෝ ජේ්‍යෂ්ඨ කළමනාකරණ සේවයට යන පිරිස ලංකාවේ අඩු වෙනවා. ඒ ක්‍ෂේත්‍රයට යන්න තරම් අත්දැකීම් බහුල පිරිස් නැති වෙනවා. අත්දැකීම් බහුල බුද්ධියෙන් උසස්, අධ්‍යාපනික මට්ටමින් උසස් අය ලංකාවෙන් යන එකෙන් ලංකාවේ බොහෝ ක්‍ෂේත්‍ර බිඳවැටෙනවා.

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඔබගේ මතය?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට Job-Oriented Education System ක්‍රමයක් තියෙන්න ඕනේ. වෘත්තීයමය දේවල් අරමුණු කරගත්ත අධ්‍යාපන ක්‍රමවේදයක් රටේ තියෙන්න අවශ්‍යයි. අප තාමත් චක්කරය ළමයින්ගෙන් කටපාඩම් ගන්නවානම් හරි, ඉතිහාස කතන්දර පොත් විතරක් කියවන්න කියලා කියනවා නම් හරි කරන්නේ එක හරි දෙයක් නෙමෙයි. එහෙම කළොත් ලංකාවේ දියුණුව ගැන අපට පොඩ්ඩක්වත් හිතන්න බෑ. මෙතන දී මම දරුවන්ට ඉතිහාස කතන්දර පොත් කියවන්න එපා කියලා කියන්නේ නෑ. අපේ රටේ තාම සමාජයේ ජීවත්වන්න අවශ්‍ය විදිහ රටේ අධ්‍යාපන ක්‍රමයෙන් උගන්වන්නේ නැති එක අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රධාන වැරුද්දක්.
විදේශ රටවල නම් බස් රථයේ යන විදිහ, බස් රථයේ යනකොට වයසක කෙනෙක් හරි, ගර්භණී මවක් හරි දැක්කහම අසුන පිරිනමන විදිහ, පෝලිමක ඉන්න විදිහ, ඒ ඔස්සේ අනෙකාට ගෞරව දැක්වීම, පොදු වැසිකිළිය පිරිසිදුව භාවිත කරන විදිහ යනාදී ගුණාංග දරුවන්ට අවුරුදු 05 ඉඳලා උගන්වනවා. අපේ රටේ දරුවන්ට චක්කරය කියලා දෙනවා, රචනාවක් ලියන හැටි පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට කියලා දෙනවා. ඒවා කරන්න ඕනේ තමයි. ඒ වුණාට සිවිල් සමාජයේ යහපත්ව ජීවත් වෙන්න ඕනේ විදිහ කියලා දෙන්නේ නෑ. සිවිල් සමාජයේ හරි විදිහට ජීවත් වෙන්න පුරුදු වුණ අය හිටියම කවදාවත්, පෝලිම්වලින් මිනිස්සු පනින්නේ නෑ, ආත්මාර්තකාමී මිනිස්සු බිහි වෙන්නේ නෑ. හයි ස්පීඩ් ගිහින් දඩය නොගෙවා යන්න හිතන්නේ නෑ. අපේ රටේ මිනිසුන්ගේ යහ පුරුදු ඇති කිරීම අපේ රටේ දේශපාලනඥයන්ට විතරක් කරන්න බැහැ. හැම මනුස්සයෙක්ම එකට එකතු වෙලා යහපුරුදු බෙදාහදාගන්න ඕනේ.

ඔබ හිතන විදිහට අපේ රටේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ මොනවා ද?
අපේ රටේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ අපේ රටේ මිනිස්සු. මේ රටේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕනේ. අපේ රටේ දරිද්‍රතාවය, මන්දපෝෂණය යම් තාක් දුරට තියනවා. ඒ වුණාට අපේ රටේ මිනිස්සු කිසිම කෙනෙක් දුප්පත් නෑ. ඇත්තටම දරිද්‍රතාවය, මන්දපෝෂණය කියන්නේ දේශපාලන මාතෘකා. සමාජ මාධ්‍ය, පත්තර, විද්‍යුත් මාධ්‍ය තුළින් රටේ දරිද්‍රතාවය, මන්දපෝෂණය ගැන තියෙන ප්‍රචාර දිහා බලද්දී මිනිස්සු බය වෙනවා, කුලප්පු වෙනවා.
හැම මනුස්සයෙක්ම ඉගෙන ගන්න ඕනේ සමාජයේ ඉන්න අනෙක් කෙනාට ගරු කරන්න. පොදු සමාජයට ගරු කරන්න, පාරේ කුණු අපට ඕනේ ඕනේ විදිහට නොදා ඉන්න. පාරේ කෙළ ගහන්නේ නැතුව ඉන්න. කාන්තාවන්ට, දරුවන්ට ගරු කරන්න. ඒ දේවල් දැන ගත්තොත් මුළු මිනිස් සමාජයම සුන්දර වෙනවා. එවැනි සුන්දර මිනිස්සුන්ගෙන් පත්වන දේශපාලඥයන් ගැන අපට දුක් වෙන්න දෙයක් නෑ.

බොහෝ ව්‍යවසායකයෝ කාල කළමනාකරණය කරන්න දන්නේ නැහැ. ඒ ගැන කතා කළොත්?
ව්‍යවසායකයන් කාල කළමනාකරණය පමණක් දැන ගත්තට මදි. ව්‍යවසායකයන්ට තව බොහෝ දේවල් දැනගන්න ඕනේ. ඒ වගේම ව්‍යවසායකයන් පමණක් නොව සමාජයේ හැමෝම කාල කළමනාකරණය පිළිබඳව දැනගන්න අවශ්‍යයි. මම එකට හොද උදාහරණයක් කියන්නම්, ජෝසෆ් වාස් විදුහලේ උසස් පෙළ හදාරන සිසුන්ට වැඩමුළුවක් පවත්වන්න මට පසුගිය දිනක ආරාධනාවක් ලැබුණා. එහි දී මම දරුවන්ට කාල කළමනාකරණය ගැන පැහැදිලි කළා. එහිදී මම කිව්වේ ඇත්තටම දැනුම තියෙන අය නෙමෙයි විභාගය පාස් වෙන්නේ, තමන්ගේ දැනුම, තමන්ට ලැබෙන කාලය තුළ නිසි පරිදි හසුරවන දරුවන් තමයි විභාග පාස් වෙන්නේ කියලා. ඒ නිසා විභාගවලට පෙනී සිටින්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන් අදාළ කාල සීමාව තුළ දී තමන්ගේ දැනුම හසුරවන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. මේක දරුවන්ට තේරුම් කරලා දෙන එක ගුරු දෙගුරු සැමගේ වගකීමක්. ඒ තුළින් කුඩා කල සිටම කාල කළමනාකරණය කරන්න දන්නා අනාගත පරපුරක් බිහිවේවි.
පුද්ගලයකු තමන්ගේ පවුලේ අය එක්ක කාලය ගත කරන්න කාලය කළමනාකරණය කරන්න දැනගන්න ඕනේ. විදේශ රටවල මිනිස්සු තවත් කෙනෙකුට කෑමකට ආරාධනා කළොත්, නිසි වෙලාවට යනවා, ඒ වගේම වෙලාවට රැකියාවට, පාසැලට යනවා, වෛද්‍යවරු රෝගීන් බලන්න වෙලාවක් දුන්නොත් හරියටම ඒ වෙලාවට තමන්ගේ වැඩ කරනවා. ඒ වුණත් ලංකාවේ මිනිස්සු පැයකට වඩා වැඩි කාලයක් පරක්කු වෙනවා. අනෙක් කෙනාගේ හැගීම් ගැන තැකීමක් නැහැ. ඒ වැනි ගතිගුණ නිසා අප ලෝකය ඉදිරියේ ලැජ්ජා වෙනවා. ඒ දේවල් අප හදාගන්න ඕනේ. ඒ කොහොම වුණත්, අපේ රටේ මිනිස්සු නැකැත් බලනවා. මොන නැකත බැලු‍වත් වැඩක් නැහැ, වෙලාවට වැඩ කරන්න බැරි නම්.

නැගීඑන ව්‍යවසායකයකුට ඔබ දෙන උපදෙස කුමක් ද?
මුලින්ම තමන් කරන දේ ගැන විශ්වාස කරන්න ඕනේ. තමන් කරන දේ සඳහා සැළැස්මක් හදන්න ඕනේ. තමන්ගේ ඉදිරි අනාගතය වාගේම ව්‍යපාරය ගොඩනගාගන්න ඒ අනුව පුලු‍වන් වෙනවා.

ඔබ හිතන විදිහට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කරන්න මොනවගේ සැළසුම් ද සකස් කළ යුත්තේ?
මුලින්ම අපේ රටේ සමාජ ජාල ඔස්සේ රටේ මිනිසුන්ගේ ඔලු‍ව නරක් කරන එක නවත්තන්න ඕනේ. අපේ ජාතිය පෞඪ අභිමානවත් ජාතියක්. එහෙම එකේ අපේ රට ගැන වැරදි ප්‍රචාර නවත්තන්න ඕනේ. අපේ රටේ ගොඩක් අය කියනවා ශ්‍රී ලංකාව දියුණු වෙන්න බැරි රටක් කියලා. ඒ ආකල්පය නැති කරගන්න අවශ්‍යයි. අපේ රටට දියුණු වෙන්න පුළුවන්. අප ශක්තිමත් ජාතියක්.
මම අපේ ලංකා ඉතිහාසයට ගොඩක් ආදරෙයි. ඈත අතීතයේ දී ශ්‍රී ලාංකිකයන් සටන් කරලා, ආක්‍රමණය කරලා, ඒවා ජය ගත්තා. අපට දක්ෂ යුද ශිල්පයක්, විශිෂ්ඨ වාරිකර්මාන්තයක්, කෘෂිකර්මාන්තයක් තිබුණා. අප බලන්න ඕනේ මෙතරම් සම්පත් රාශියක් ශ්‍රී ලංකාවේ තිබුණත්, ඇයි අපට දියුණු වෙන්න බැරි කියලා. මෙහෙම අපට වුනේ, අපට ගැළපෙන්නේ නැති මොඩ්ල්ස්, පිටින් ගෙනල්ලා අපේ රටට යොදාගත්ත හින්දා. ඉස්සෙල්ලාම අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වෙන්න ඕනේ.
ඇත්තටම අරගල කරන්න ඕනේ. ඒහෙම කරන්න ඕනේ අපේ රටේ මිනිසුන්ව වෙනස් කරන්න. අරගලයක් කරලා අවසානයේ දී අපේ රටේ මිනිසුන් හොරකම් කරන එක නවතින්න ඕනේ. හෙල්මට් එක නොදා ඇවිත් පොලිසියේ කෙනෙක්ට අත යටින් ගානක් දිලා දඩය ලියා ගන්නේ නැත්නම්, ඉස්සෙල්ලම හෙල්මට් නොදා එන අප වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ පොලිසියේ අය වෙනස් වෙන්න ඕනේ. එදාට සොරකම නතර වෙයි.
අපේ රටේ ලොකුවට ඉන්න මිනිස්සු, ලොකුවට හොරකම් කරනවා. පොඩියට ඉන්න මිනිස්සු පොඩියට හොරකම් කරනවා. මේ රටේ හැම පුරවැසියෙක්ම අපේ රට දියුණු කරනවා කියලා සිතේ ධාරණය කරගන්න ඕනේ. ලංකාවේ ගුරුවරු පාසල් කාලයෙන් පස්සේ තමන් පාසලේ දී උගන්වන දරුවන්ට හවස පන්ති කරන එකත් මම දන්න විදිහට හොරකමක්. වෛද්‍යවරු රෝහලේ සේවයෙන් පස්සේ, හවස පෞද්ගලික සායන පවත්වලා, රෝහලේ තමන්ගේ වාට්ටුවේ, තමන්ගේ පෞද්ගලික සායනවලට පැමිණෙන ලෙඩාව නවත්තගන්නවා නම් ඒකත් හොරකමක්.
මේ දේවල් නිසා ඉස්සෙල්ලම අපේ රටේ අධ්‍යාපනය වෙනස් කරලා, රටේ ජීවත්වන දරුවන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. අලු‍ත් දේවල් හිතන, අපේ රටට ගැළපෙන මොඩ්ල් එකක් අපි හදාගමු. අපේ රටේ ආර්ථික, අධ්‍යාපනික, කෘෂිකාර්මික යනාදී රටේ රාජ්‍ය ප්‍රතිපත්ති විසිපස් අවුරුද්දක්, තිස් අවුරුද්දක් වගේ දීර්ඝ කාලයක් පවතින ආකාරයට සකස් කරන්න ඕනේ. රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ දී බිම් මට්ටමේ සහ ඉහළ මට්ටමේ පුද්ගලයන්ගේ දායකත්වය ලබාගන්න. ලෝකයේ අනෙක් රටවල් එක්ක බැලු‍වහම අපේ රටේ තිබෙන ස්වාභාවික සම්පත් වෙනත් රටවල නෑ. අපේ රටේ තිබෙන සම්පත් දිහා බලලා විදේශ සංචාරකයන් අපේ රටට ඈදාගන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. අපේ රටේ සංචාරක ක්‍ෂේත්‍රයේ තිබෙන ගැටලු‍වලට නිසි සැළසුම් සකස් කරන්න අවශ්‍යයි. අලු‍ත් සංකල්පයක් අපේ රටට ආවහම, ගොඩක් මිනිස්සු ඒ දේවල්වලට බනිනවා. එහෙම බනින්නේ නැතිව ඒ අලු‍ත් සංකල්ප අපට කොතරම් දුරකට ගැළපෙනවා ද කියලා බලලා, නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ දේවල් හරි විදිහට කළොත් අපේ රට දියුණු රටක් කරන්න පුළුවන්.

මදාරා මුදලිගේ

Related posts
පුවත්

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද Brand Week 2023 හි නිල බැංකු සහකරු ලෙස HNB එක් වෙයි

නැගී එන අලෙවිකරුවන්ට අත්වැලක් වෙමින්…
Read more
පුවත්

75 වැනි නිදහස සනිටුහන් කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට හච් ‘කතා නිදහස’ මඟින් සහන පිරිනමයි

ශ්‍රී ලංකාව තුළ වසර 25ක් සිය අඛණ්ඩ…
Read more
අලූත් යමක්පුවත්

ඉහළ යන බිත්තර මිලට තිරසාර විසඳුමක් ලබාදෙන්න

රුපියල ශීඝ‍්‍ර ලෙස අවප‍්‍රමාණය වීම…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *