අලූත් යමක්ජීවිතයධනයපුවත්

ව්‍යාපාරිකයෙක් නම් හරි හැටි බදු ගැන දැනගනිමු

Bharatha Subasinghe
Managing Director – D P R Consultants (Pvt) Limited,
Chartered Tax Advisor, Accountant and Company Secretary – MBA in Taxation (PIM – SJP)
Email bharatha@dpr.lk
Mobile 0773 248 542

සංවර්ධිත රටක ජීවත් වීමට හීන දකින සෑම පුරවැසියෙක්ම තමාගේ යුතුකම් කොටස, තමන්ගේ රට වෙනුවෙන් ඉටු කල යුතු කාලය එලඹ තිබෙන්නේය. රටක මූලික අවශ්‍යතා පිරිමසා ගන්නට, අධ්‍යාපනය හා සෞඛ්‍යය ඉහළ මට්ටමකට ගෙන එන්නට, පුරවැසියන් විසින් රජයට ගෙවන ලබන බදු මුදල් සෘජුවම ඉවහල් වන බව සිහි තබාගෙන, නිසි කලට ආදායම් බදු ගෙවීම වගකීම් සහගත පුරවැසියන් වන හැමදෙනාගේම යුතුකමකි.

යම් කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අදහසක් තිබේනම්, ව්‍යාපාරය ආරම්භ කර දින 14ක් ඇතුලත එය ලියාපදිංචි කල යුතුයි. එම ව්‍යාපාරය තනි පුද්ගල, හවුල් ව්‍යාපාර හෝ පෞද්ගලික සමාගමක් ද යන්න තීරණය කලාට පසුව එය ඒ ඒ ව්‍යාපාර නීතිය යටතේ ලියාපදිංචි කල යුතුයි.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අනුව ඕනෑම පුද්ගලයෙකු ආදායම් ලබන ආකාර කීපයක් තිබෙනවා. ව්‍යාපාරික ආදායම (Business income), ආයෝජන ආදායම (Investment income) හෝ රැකියා ආදායම (Employement income) සහ වෙනත් ඕනෑම ආකාරයක ආදායමක් ලැබිය හැකියි. මෙලෙස තනි පුද්ගලයකුගේ බදු අයකල හැකි ආදායම, මසකට රු.250,000කට වඩා වැඩි නම්, නැතහොත් වසරකට උපයන ආදායම රු. ලක්ෂ 30කට වඩා වැඩි නම්, එම පුද්ගලයා ආදායම් බදු ගෙවීම් සඳහා බදු ලිපි⁣ගොනුවක් (Tax file) විවෘත කිරීම අවශ්‍යයි (මෙම සීමාව මසකට රු. 100,000ට වැඩි හෝ වසරකට රු. ලක්ෂ 12ක් වේ). තව ද වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සදහා ලිපිගොනුවක් විවෘත කිරීමට යෝජනා කර ඇත. වෙනත් ආකාරයකින් කිවහොත්, TIN (Tax Identification Number) අංකයක් ලබාගැනීම අවශ්‍යයි. එසේම හවුල් ව්‍යාපාර සහ සමාගම් පනතට අනුව ලියාපදිංචි ආයතන ද බදු ලිපි ගොනුවක් විවෘත කිරීම කල යුතුවේ. මේ ආකාරයට ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කල පසු, එය කොටස් 2කින් යුක්ත වේ. ඉන් පළමුවැන්න ආදායම් බදු කාර්තුවකට වතාවක් ගෙවිය යුතුයි. එය වසරකට වරක් නොවේ. මෙහි දී වසරක් ලෙස සැලකෙන්නේ එක් වසරක අප්‍රේල් මස සිට ඊලඟ වසරේ මාර්තු 31දා දක්වා වන පරිදිය. හැමවිටම එක් කාර්තුවක් අවසන් වී මාස එකහමාරක් ඇතුලත ආදායම් බද්ද ගෙවිය යුතුයි. දෙවැන්න, වසරකට වරක් ආදායම් බදු වාර්තාවක් ලබාදිය යුතුයි. ව්‍යාපාරයේ ගිණුම් නියමිත පරිදි පවත්වාගෙනයමින් ඒවා විගණනය කල යුතුයි. කාර්තු 4ට අදාල බදු මුදල් ගෙවීමෙන් අනතුරුව, එම වසරේ සැප්තැම්බර් 30දාට පෙර අවසාන බදු මුදල් ගෙවීමට අවශ්‍යයි. ඉන්පසුව නොවැම්බර් 30ට කලින් ආදායම් බදු වාර්තාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වේ. එම නිසා යම් ව්‍යාපාරයක නියැලෙන්නේ නම්, කාර්තුවට අදාළව බදු මුදල් ගෙවීම අත්‍යවශ්‍ය කාරණයකි.

බදු ගෙවීම් සිදු කරන විට බදු ගෙවන්නා විසින්ම ඇස්තමේන්තුගත වාර්තාවක් (Statement of estimate taxiation) දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යැවිය යුතුය. එය සෑම වසරකම අගෝස්තු මස 15 වන දින හෝ ඊට පෙර සිදුකල යුතුය. ඒ අනුව, 2022/2023 වසරට අදාල ගෙවිය යුතු බදු ඇස්තමේන්තු කර, එම බද්දෙන් 1/4ක් කාර්තු වශයෙන් ගෙවිය යුතුය.

ආයෝජන ආදායම් තිබෙන කෙනෙකුට පොලී ආදායම, ලාභාංශ, දේපල කුලියට හෝ බද්දට දී තිබෙන විට ඒවායින් ලැබූ ආදායම් මීට පෙර රඳවාගැනීමේ බදු ලෙස පනවා තිබුණත්, එය 2020 ජනවාරි මස 01 වන දින සිට අහෝසි කර තිබේ. එතැන් සිට ආයෝජන සහ අනෙකුත් ආදායම් සඳහා ද බදු, ඉහත පරිදිම කාර්තු වශයෙන් ගෙවිය යුතුය.

දැනට යෝජනා වී තිබෙන බදු සංශෝධනයට අනුව පොලී ආදායමට 5%ක රඳවාගැනීමේ බද්දක් ද, ලාභාංශ වලට 15%ක බද්දක් ද, දේපල බදු දීමෙන් ලැබෙන ආදායම මාසිකව රු.100,000ට වැඩි නම්, එයට 10%ක බද්දක් ද ලෙස සංශෝධනය වීමට නියමිතයි. තවද යම් කෙනෙකුගේ මාසික වැටුප රු. 100,000කට වඩා වැඩි නම්, සේවා යෝජකයා විසින් ඔවුන්ගෙන් බදු අයකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය. එසේම යම් සමාගමක් හෝ ආයතනයක් පුද්ගලයකුට මසකට රු. 100,000කට වඩා වැඩි සේවා ගාස්තුවක් කලහොත්, ඉන් 5%ක් බදු ලෙස රඳවාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය.

දැනට පෞද්ගලිකව බදු ගෙවීම් කරන පුද්ගලයකුට වසරක ආදායම මිලියන 3ක් දක්වා බදු ගෙවීමක් නැති අතර, ඊට අමතරව, ලක්ෂ 12ක වියදම් සහනයක් ලබා දී තිබේ. නිවාස ණය පොලී ගෙවා තිබේ නම්, බදු ගෙවන්නාගේ හෝ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ වියදම් දරා තිබේ නම්, සෞඛ්‍යය පිළිබඳ ගෙවීම් කර තිබේ නම් හෝ යම් සමාගමකින් කොටස් මිලදී ගෙන තිබේ නම් මාසිකව ලක්ෂයක් ලෙස මාස 12ට ලක්ෂ 12ක් වන ආකාරයට බදු සහනයක් ලබා ගත හැකිය. එසේ සහන දුන් පසු ඉතිරිය බදු ගෙවන ආදායමයි. පළමු ලක්ෂ 30ට 6%ක බද්දක් ඊලඟ ලක්ෂ 30ට 12%ක් හා ඉතිරියට 18%ක බද්දක් අයකර ගනු ලබයි. දැනට තිබෙන ප්‍රතිශතය අනුව, උපරිම අගය තනි පුද්ගලයන්ට 18%ක් වේ. නමුත්, නව යෝජනාව අනුව එය වෙනස් වී පළමු ලක්ෂ 5ට, 6% සිට උපරිම අගය 36%දක්වා දිවෙන ආකාරයට වෙනස්වීමට නියමිතයි. මෙම නව සංශෝධනයන් තවමත් පාර්ලිමේන්තුව තුල සම්මත වී නොමැති අතර එය සම්මත වූ වහාම මෙම නව නීතීන් ක්‍රියාත්මක වීමට නියමිතයි.

හවුල් ව්‍යාපාරයක් නම්, එය වෙනම ලියාපදිංචි කල යුතු අතර වාර්ෂිකව ගිණුම් පිළියෙල කර බෙදිය හැකි ලාභය ගණනය කල යුතුය. බෙදිය හැකි ලාභය වසරකට රු. ලක්ෂ 10 ඉක්මවන්නේ නම් 6%ක රඳවාගැනීමේ බද්දක් ගෙවිය යුතු වේ. හවුල් ව්‍යාපාරවලට වෙනම ලිපිගොනුවක් තිබිය යුතු අතර හවුල්කරුවන් හට ලැබෙන ආදායම ද රු. ලක්ෂ 30ට වැඩි නම්, ඔවුන්ට ද පෞද්ගලික බදු ලිපිගොනුවක් තිබීම අනිවාර්ය වේ. තවද හවුල් ව්‍යාපාරය රඳවාගත් බද්ද හවුල්කාරුවන්ගේ පෞද්ගලික ගෙවිය යුතු බද්දෙන් අඩු කරගත හැකිය.

පෞද්ගලික ව්‍යාපාරවලට (Private Limited Company) ව්‍යාපාරික ආදායම, ආයෝජන ආදායම හෝ වෙනත් ආදායම් තිබිය හැකියි. ව්‍යාපාරික ආදායම ගතහොත්, බදු පනත අනුව ගණනය කිරීම් කල යුතුයි. මෙවැනි ව්‍යාපාරවල ඒවා ලබන ආදායම්වලට සීමාවකින් තොරවම බදු අයකිරීම් සිදු කරයි. දැනට 14%, 24% හා ඊට අමතරව, 40% දක්වා ප්‍රතිශතයක් තිබෙන අතර, මෙසේ 40%ක් තරම් ප්‍රතිශත දුම්කොළ, මද්‍යසාර ආදිය සඳහා පනවා තිබේ. අනෙකුත් සමාගම්වලට 14% හා 24% ලෙස තිබේ. සමාගමේ සහ අනුබද්ධ සමාගම් විකුණුම් රු.මිලියන 500ට අඩුනම් 14%ක බදු ප්‍රතිශතයකට යටත්ව බදු ගෙවිය හැකියි. ඊට අමතරව, සංචාරක ව්‍යාපාරයක් හෝ සංචාරක හෝටලයක් නම්, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරයක් නම්, කෘෂි කාර්මික ව්‍යාපාර හා අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපාර සඳහා 14%ක් වැනි අඩු බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක වේ.

නමුත් නව යෝජිත බදු සංශෝධනයන්ට අනුව දුම්කොළ, මද්‍යසාර ආදිය සඳහා පනවා ඇති 40%ක් වූ බදු ප්‍රතිශතය හැර අනෙකුත් සියලු‍ම ව්‍යාපාර සඳහා වන බදු ප්‍රතිශතයන් 30% දක්වා වැඩි කිරීමට නියමිතයි. තව ද ව්‍යාපාරයක් විසින් උපයන ප්‍රාග්ධන ලාභ බද්ද සඳහා ද 30%ක බදු මුදලක් අය කීරීමට යෝජනා වී ඇත.

අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වෙත යායුතු නොවන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි මාර්ගගත ක්‍රමයට (Online) පහසුකම් සලසා දී තිබේ. පළමුව අදාල අයදුම්පත පිරවීම අවශ්‍යයි. තමන්ගේ ආදායම් ලැබීම තහවුරු කිරීම අනිවාර්යයි. ඉන් පසුව ජාතික හැඳුනුම්පතේ පිටපත, ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය සහ මූලික සමාගම් ලියාපදිංචි කිරීමේ ලියකියවිලි අන්තර්ජාලය ඔස්සේ ලබාදුන් පසුව, අදාල TIN අංකය (Tax identification number) ලැබෙයි. ඊට අමතරව ආදායම් බදු ගෙවීම් පවා අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමේ පහසුකම් සලසා ඇත.

– ශෂිකා තල්පෙහේවා

Related posts
පුවත්

සූර්යා හඳුන්කූරු ගුත්තිල සිනමා පටය සමග අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ කාගේත් විශ්වාසය හා ආදරය…
Read more
පුවත්

‘ඇය සුරකින AIA’ මිලියන භාගයකට අධික කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් පළමු සංවත්සරය සමරයි!

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work…
Read more
පුවත්

SME අංශයට සහාය වීමට සහ සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම හරහා ස්වයං රැකියා අවස්ථාවන් සැපයීමට HNB, Lanka Ashok Leyland සමඟ එක් වෙයි

පාරිභෝගිකයින්ට ලංකා අශෝක් ලේලන්ඞ්…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *