අලූත් යමක්ජීවිතයනායකයෝ

පවතින බලශක්ති සහ ගෑස් අර්බුදයටත් වඩාත් උචිත නිෂ්පාදනයක් ECO TECH BASE

වර්තමානයේ පවතින ආර්ථික සහ සමාජීය වතාවරණය තුළ, ගෘහාශ්‍රිත කෘෂිකර්මාන්ත සහ ආහාර පිසීමට යොදා ගනු ලබන LP ගෑස් වෙනුවට ආදේශක හදුන්වා දීමේ ප්‍රවණතාවයක් ආරම්භ වී ඇත. විශේෂයෙන්ම අවම ඉන්ධන සහ ගෑස් සංචිත තත්ත්වය හේතුවෙන් ජනතාවගේ දෛනික වැඩකටයුතු අඩපණ වීමට ඉඩ ඇති කාලයක එම අවශ්‍යතා සඳහා වෙනත් සම්පත් සහ ක්‍රමෝපාය වෙත යොමු වීම ද දක්නට ලැබේ. ගෘහාශ්‍රිත ජීව වායු (bio gas) නිෂ්පාදන සහ කාබනික ගොවිතැන යන මාතෘකා කරළියට එන්නේ ඒ ආකාරයෙනි. වසර කිහිපයක සිට ඒ පිළිබඳ නිෂ්පාදන සහ අධ්‍යයන සිදු කරන ඉංජිනේරු රෝහිත ආනන්ද මහතා, ගෘහාශ්‍රිත ගෑස් පරිභෝජනය වෙනුවෙන් නව තාක්ෂණයක් හදුන්වා දී ඇති අතර, එය ජීව වායුජනක නිෂ්පාදන (Eco Buddy) නමින් හදුන්වයි.

Eco Buddy ජීව වායුජනක පිලිබඳ හැඳින්වීමක් කළොත් ?

Eco Buddy නිෂ්පාදනය ගැන මුලික හැඳින්වීමක් කළොත් එය ගෘහස්ථ ජීව වායුජනකයක් (bio gas) වන අතර මේ සඳහා මුළුතැන්ගෙයින් ඉවතලන ආහාර අපද්‍රව්‍ය (food waste) අමුද්‍රව්‍යය වශයෙන් භාවිත කෙරෙනවා. මෙහිදී, නිවසේ ඉවතලන, පහසුවෙන් දිරාපත් වන කසළ නිසි ආකාරයට බැහැර කරමින් කසළ කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ කාබනික දියර පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබනවා. එම කසළවලින් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජීව වායු (bio gas) නිෂ්පාදනය සිදු වෙනවා. මෙම පද්ධතිය සඳහා පහසුවෙන් දිරන මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සේම තණකොළ ඇතුළු ඉක්මනින් දිරාපත්වන ශාක බෝගත් ඇතුළත් කළ හැකියි. මෙහි විශේෂත්වය වන්නේ දිනකට කිලෝ ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක කසළ බැහැර කිරීමෙන් මාසයක් අවසානයේදී කුඹුරු අක්කරයකට අවශ්‍යවන ප්‍රමාණයට කාබනික දියර පොහොර නිපදවා ගැනීමට හැකි වීමයි.

මෙහිදී නිපදවෙන කාබනික දියර පොහොර, ආහාර බෝග හෝ මල් පැළ වැනි ඕනෑම වගාවකට යොදා ගත හැකි වන අතර එම දියර පොහොර පසෙහි ගුණාත්මකභාවය වර්ධනය කර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වර්ධනය කරවනවා. එසේම ඉන් පාංශු ජීවින්ගේ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ද වැඩිදියුණු වෙනවා. එසේම, මෙහි තවත් අතුරු ඵලයක් විදියට නිපදවන කාබනික දියර පොහොර අපිට කෘමි නාශකයක් ලෙස භාවිතා කිරීමට හැකියාව තියෙනවා.  එහිදී කෘෂි විකර්ෂකයක් ලෙස පසට එකතු කිරීම හෝ පත්‍ර වලට ඉසීම සිදු කළ හැකියි.

මෙම පද්ධතියට බයෝගෑස් convert ලිපක්, මැනො මීටරයක් ඇතුළත් වන අතර මෙහි ප්‍රධාන පොහොර නිපදවීමේ පද්ධතිය ප්ලාස්ටික් බැරල් එකක ආධාරයෙන් සිදු කෙරෙනවා. මෙහිදී, භාවිතා කරන ලද බොහෝ අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදන වීමත් විශේෂත්වයක්. පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා තාක්ෂණික සහාය අවශ්‍ය වන අතර ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඒ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැනුවත්වීමත් අවශ්‍යයි. මෙහි පවතින, මැනො මීටරය හරහා ගෘහණියන්ට හෝ මෙය භාවිතා කරන්නන්ට එහි පවතින ගෑස් පීඩනය මැන ගැනීමට හැකියාවක් ලැබෙනවා. පද්ධති ගෘහස්ථව ඉදිකරන්නේනම් කිලෝ ග්‍රෑම් තුනේ පද්ධතිය සඳහා අඩි 4 x 4 ඉඩක් අවශ්‍ය වන අතර එය මුළුතැන්ගෙයට ආසන්න ස්ථානයක් වීම වඩා උචිත යි. තමන්ගෙ වගාවේ ප්‍රමාණය සහ තමන්ට අවශ්‍ය පොහොර හෝ ගෑස් වල ප්‍රමාණය අනුව පද්ධතියේ ධාරිතාව තෝරා ගන්න පුළුවන්.

Eco Buddy ජීව වායුජනකය මගින් කොපමණ ප්‍රමාණයක ජීව වායු (bio gas) ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගත හැකිද ?

කලින් සඳහන් කළ ආකාරයක දෛනිකව කිලෝ ග්‍රෑම් තුනකට ආසන්න කසළ ප්‍රමාණයක් පද්ධතියට එක කළොත්, ලීටර 8ත් 10ත් අතර ප්‍රමාණයක කාබනික දියර පොහොර ප්‍රමාණයක් නිපදවා ගත හැකියි. ඒ හරහා දිනකට විනාඩි 40කට ආසන්න කාලයක් එක් උදුනක් (single burner) දැල්වීමට අවශ්‍ය වන තරමේ ජීව වායු (bio gas) ප්‍රමාණයක් ජනනය කර ගත හැකියි.

ඒ වගේම මුලිකව නිපදවෙන දියර පොහොර, අපට ඕනෑම එළවළු පලතුරු බෝග වගාවකට පහසුවෙන් යොදාගන්න පුළුවන්. අප පද්ධතියට ඇතුළත් කරන කසළවල මූලද්‍රව්‍ය අනුව නිපදවන කාබනික දියර පොහොරවල ගුණාත්මකභාවය සහ සංයුතිය වෙනස් කරගත හැකියි. මෙහිදී නිපදවෙන,  ජීව වායු (bio gas) සම්බන්ධයෙන් කතා කළොත් එය බැක්ටීරියා ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස මීතේන් වායුව නිපදවනවා. එය ගෘහාශ්‍රිත ආහාර පිසීමේ කටයුතු සඳහා පහසුවෙන් භාවිත කළ හැකියි.

මෙම Eco Buddy පද්ධතිය ස්ථාපනය කළ පසු ජීව වායු (bio gas) සහ කාබනික දියර පොහොර නිපදවීම ආරම්භ වීමට කොපමණ කාලයක් ගත වනවාද ?

මෙහිදී ගෑස් සහ කාබනික දියර පොහොර නිෂ්පාදනය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ස්ථාපනය (installation) කිරීමෙන් පසු මාස එක හමාරක පමණ කාලයක් ගත වෙනවා. ඉන් අනතුරුව දෛනිකව පොහොර සහ ගෑස් නිෂ්පාදනය කිරීමටත්, භාවිතා කිරීමටත් අවස්ථාව උදාවෙනවා. මෙය එකවර ආරම්භ කර ක්‍රියාත්මක වන පද්ධතියක් නෙමෙයි. මෙහිදී බැක්ටීරියා ක්‍රියාකාරිත්වය  හරහා ගෑස් සහ දියර පොහොර නිපදවීම සිදුවන නිසා එය ක්‍රමක්‍රමයෙන් සිදු කළ යුතුයි. පද්ධතිය පිහිටුවීමෙන් අනතුරුව එහි කල් පැවැත්ම අවුරුදු අටත් දහයත් අතර වෙනවා.

සමස්ත පද්ධතිය භාවිතා කිරීමෙන් ජනතාවට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද ?

මෙමගින් නිපදවෙන කාබනික දියර පොහොර, 100%ම ස්වභාවික අපද්‍රව්‍යවලින් නිපදවන නිසා වගා කෙරෙන එළවළු සහ පළතුරු ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත යි වගේම, කිසිදු රසායනික කෘමිනාශකයක් භාවිත නොකිරීම නිසා එම එළවළු සහ පළතුරු පෝෂණයෙන් අනූන යි. එම නිසා, ගෙවතු වගාවේ යෙදෙන ජනතාවට, කිසිදු බයකින් සැකයකින් තොරව ආහාර පරිභෝජනය කිරීමට හැකිවෙනවා. දැනට පවතින බලශක්ති සහ ගෑස් අර්බුදයටත් මෙය වඩාත් උචිත නිෂ්පාදනයක්. මේ සඳහා යොදාගන්නේ මුළුතැන්ගෙයින් ඉවතලන අපද්‍රව්‍ය වන නිසා නිවසේ කසළ කළමනාකරණයත් හොඳින් සිදු වෙනවා.

Eco Buddy නිපැයුම 2021 වසරේ දී හරිත බලශක්ති සම්මානය හිමි කරගෙන තිබෙන අතර දැනට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් 300කට අසන්න සංඛ්‍යාවක් ස්ථාපන කර ඇත. මෙම ජීව වායු බලාගාරය සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ ස්ථාපනය කිරීම වැලිලන්ද වත්ත, පත්බේරිය, පරකඩුව පිහිටි ECO TECH BASE ආයතනය විසින් සිදු කරනු ලබයි.

වෙබ් අඩවිය – https://www.ecotechbase.com

Related posts
අලූත් යමක්පුවත්

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මගින් උතුරු පළාතේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය (LEED+) තුළ ලබාගත් සුවිශේෂි ඉගෙනුම් බෙදාගැනීම

ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය…
Read more
අලූත් යමක්පුවත්

පෑන් ඒෂියා බැංකුව හරහා විදේශ ප්‍රේෂණ සිදුකරන ගනුදෙනුකරුවන්ගේ ආදරණීයයන් වෙත වටිනා ත්‍යාග

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන…
Read more
ජීවිතයනායකයෝපුවත්

වෙළෙඳ  ප්‍රචාරණ ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීම වෙනුවෙන් 4As සංවිධානයට නව නිලධාරී මණ්ඩලයක්

 Accredited Advertising Agencies Association (4As) සංගමයට අයත් ශ්‍ර…
Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *